අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)

3. සබ්බදිඨ සූත්‍රය

එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනයෙහි කලන්‍දක නිවාප ස්ථානයෙහි වාසය කරණ සේක. එකල්හි මගධ මහාමාත්‍ය වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ, සිහිකටයුතුවූ කථාව කොට නිමවා එකත්පසෙක සිටියේය.

’’එකත්පසෙක සිටි මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේට, ’’භවත් ගෞතමයන් වහන්ස, යම් කිසිවෙක් මා විසින් මෙසේ දක්නා ලදැයි දක්නා ලද්ද කියයිද, ඉන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් මෙසේ අසන ලදයයි අසන ලද්ද කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් ගන්‍ධ, රස, ඵොඨබ්බ වශයෙන් ගන්නා ලද්දේයයි, මුතය කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැත. යම් කිසිවෙක් මා විසින් සිතින් දන්නා ලද්දේයයි විඥානය කියයිද, ඒ හේතුවෙන් දෝෂයක් නැතැයි මෙසේ කියන්නෙක් මෙබඳු දෘෂ්ටි ඇත්තෙක්ය’’ යි කීයේය.

’’බ්‍රාහ්මණය, මම දක්නාලද සියල්ල කිව යුතුයයි නොකියමි. බ්‍රාහ්මණය, මම දක්නාලද සියල්ල නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම අසනලද සියල්ල කිව යුතුයයි නොකියමි. බ්‍රාහ්මණය, මම අසනලද සියල්ල නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු ගන්‍ධ, රස, සපර්‍ශය කිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු ගන්‍ධ, රස, සපර්‍ශය නොකිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු දතයුත්ත කිව යුතුයයි නොකියමි. බමුණ, මම සියලු දතයුත්ත නොකිව යුතුයයි නොකියමි.

’’බමුණ, යම් දුටු දෙයක් කියන්නාට අකුශල ධර්‍මයෝ වැඩෙත්ද, කුශල ධර්‍මයෝ පිරිහෙත්ද, මෙබඳු දක්නා ලද්ද නොකිව යුතු යයි කියම්. බමුණ, යම් දුටු දෙයක් කියන්නාට අකුශල ධර්ම පිරිහෙත්ද, කුශල ධර්ම වැඩෙත්ද, මෙබඳු දුටු දෙය කිව යුතු යයි කියමි.

’’බමුණ, යම් ඇසූ දෙයක් කියන්නාට අකුශල ධර්මයන් වැඩෙත්ද, කුශල ධර්මයන් පිරිහෙත්ද, මෙබඳු අසන ලද්ද නොකිව යුතු යයි කියමි. බමුණ, යම් අසන ලද්දක් කියන්නාට අකුශල ධර්ම පිරිහෙත්ද, කුශල ධර්ම වැඩෙත්ද, මෙබඳු අසන ලද්ද කිව යුතු යයි කියමි.

’’බමුණ, යම් ගන්‍ධ, රස, පොට්ඨබ්බයක් කියන්නාහට අකුශල ධර්‍ම වැඩෙත්ද, කුශල ධර්ම පිරිහෙත්ද, එබඳු මුතය (පඤ්චෙන්‍ද්‍රියයන්ගෙන් දන්නා දෙය) නොකිවයුතුයයි කියමි. බමුණ, යම්කිසි ගන්‍ධ, රස, පොට්ඨබ්බයක් කියන්නාට අකුශල් පිරිහේ නම්, කුශල් වැඩේ නම්, එබඳු මුතය (පඤ්චෙන්‍ද්‍රියයන්ලෙන් දැනගත් දේ) කිවයුතුයයි කියමි.

’’ බමුණ, යම්කිසි සිතින් දත යුත්තක් කියන්නාහට අකුශල් වැඩෙත්ද, කුශල් පිරිහෙත්ද, එබඳු විඤ්ඤාණය නොකිවයුතුයයි කියමි. බමුණ, යම් විඤ්ඤාණයක් කියන්නාට අතුශල් පිරිහෙත්ද, කුශල් වැඩෙත්ද, එබඳු විඤ්ඤාණය කිව යුතුයයි කියමි.

’’ඉක්බිති මගධ මහාමාත්‍යවූ වස්සකාර බ්‍රාහ්මණ තෙම භාග්‍යවතුන් වහන්සේ ගේ වචනයට සතුටුව හුනස්නෙන් නැගිට ගියේය.