අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

4. චක්ක වර්‍ගය

3. සීහොපම සූත්‍රය

’’මහණෙනි, මෘගරාජවූ සිංහ තෙම සවස් වේලාවෙහි ගුහාවෙන් නික්මෙයි. ගුහාවෙන් නික්ම කෙසරු සලා ඇඟ සොලවයි. කෙසරු සලා හාත්පස සතර දිශාව බලයි. හාත්පස සතර දිශාව බලා, තුන්වරක් සිංහනාද කරයි. තුන්වරක් සිංහනාද කොට ගොදුරු පිණිස නික්මෙයි. මහණෙනි, යම් ඒ තිරිසන්ගත ප්‍රාණීහු නාද කරන්නාවූ, මෘගරාජවූ සිංහයාගේ ශබ්දය අසත්ද, ඔවුහු බොහෝ සෙයින් භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. ගුල්වල වාසය කරන්නාහු, ගුලට ප්‍රවිෂ්ට වෙත්. ජලයෙහි වාසය කරන්නාහු, ජලයට ප්‍රවිෂ්ට වෙත්. වනයෙහි වාසය කරන්නාහු, වනයට ප්‍රවිෂ්ට වෙත්. පක්‍ෂීහු ආකාශයට යත්.

’’මහණෙනි, ගම්, නියම්ගම්, රාජධානීන්හි තද වරපට බන්‍ධනයෙන් බඳින ලද රජුගේ ඇත්තු වෙද්ද, ඔවුහුද ඒ බන්‍ධන සිඳ බිඳ, බිය වූවාහු, මළ මූත්‍ර කරමින්, යම් ඒ තැනක පලායත්. මහණෙනි, තිරිසන්ගත සතුන් අතරින් සිංහවූ මෘග රාජයා මෙසේ මහත් ඎද්‍ධි ඇත්තේය. මෙසේ මහෙසාක්‍ය වන්නේය. මෙසේ මහානුභාව ඇත්තේය.

’’මහණෙනි, එසේම යම් කලෙක්හි අර්‍හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, අෂ්ටවිද්‍යා, පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තවූ, සුගතවූ, ලොකය දත්, නිරුත්තර පුරුෂධම්ම සාරථීවූ, දෙවි මිනිසුන්ගේ ශාස්තෲවූ, බුද්‍ධවූ, භාග්‍යවත්වූ තථාගතයන් වහන්සේ ලෝකයෙහි උපදී. හෙතෙමේ මේ සක්කාය නම් පඤ්චඋපාදානස්කන්‍ධයෝය. මේ සක්කාය සමුදය නම් පඤ්චඋපාදානස්කන්‍ධයට හේතුවයි. මේ සක්කාය නිරෝධයය. මේ සක්කාය නිරෝධගාමිණී ප්‍රතිපදාවයයි ධර්මය වදාරයි.

’’මහණෙනි, දීර්‍ඝායුෂ්කවූ, වර්‍ණවත්වූ, සැප බහුලකොට ඇත්තාවූ, උස්වූ විමානවල බොහෝකල් සිටින්නාවූ, යම් දේවතා කෙනෙක් ඇද්ද, ඔවුහුද තථාගතයන් වහන්සේගේ ධර්මය අසා බොහෝ සෙයින්, භයට, සංවේගයට, තැතිගැන්මට පැමිණෙත්. පින්වත්නි, ඒකාන්තයෙන් අනිත්‍යවූ අපි, නිත්‍යයයි සිතුවෙමු. පින්වත්නි, ඒකාන්තයෙන් අනියතවූ අපි, නියතයයි සිතුවෙමු. පින්වත්නි, අශාස්වත අපි, ශාස්වතයයි සිතුවෙමු. අපිදු පින්වත්නි, අනිත්‍ය වෙමු, අනියත වෙමු, අශාස්වත වෙමු, පඤ්චඋපාදානස්කන්‍ධයට ඇතුළත් වෙමු කියායි. මහණෙනි, තථාගත තෙම, මෙසේ මහත් සෘද්‍ධි ඇත්තේය.. දෙවියන් සහිත ලෝකයට මෙසේ මහේශාක්‍යය. මෙසේ මහානුභාව ඇත්තේය.

’’දෙවියන් සහිත ලෝකයාගේ අතිපුද්ගලවූ, ශාස්තෲවූ බුදුරජ තෙම, පඤ්චඋපාදානස්කන්‍ධ සංඛ්‍යාත සක්කායද, එහි නිරෝධයද, එහි හේතුවද, දුක්ඛයාගේ සංසිඳීමට පැමිණෙන මාර්‍ගයද, විශිෂ්ට ඥානයෙන් දැන, යම් කලෙක්හි ධර්ම චක්‍රය පැවැත්වූයේද, වර්‍ණවත්වූ, යසස් ඇත්තාවූ, දීර්‍ඝායුෂ්කවූ දෙවියෝ සෙසු මෘගයෝ සිංහයාට මෙන් කෙලෙසුන්ගෙන් මිදුනාවූ, තාදීවූ, බුදුරජානන් වහන්සේ ගේ වචනය අසා, පින්වත්නි, අපි ඒකාන්තයෙන් අනිත්‍ය වෙමු. සක්කාය නොඉක්මවූ වෙමුයි බිය වූවාහුය. තැතිගැන්මට පැමිණියාහුය.’’