අඞ්ගුත්තරනිකායො
චතුක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
4. චක්ක වර්ගය
4. අග්ගප්පසාද සූත්‍රය
’’මහණෙනි, මේ අග්‍ර පැහැදීම් සතරක් වෙත්. කවර සතරක්ද යත්.
’’මහණෙනි, පා නැත්තාවූ හෝ දෙපා ඇත්තාවූ හෝ පා සතරක් ඇත්තාවූ හෝ බොහෝ පා ඇත්තාවූ හෝ, රූප අත්තාවූ හෝ රූප නැත්තාවූ හෝ, සංඥා ඇත්තාවූ හෝ සංඥා නැත්තාවූ හෝ, භවාග්‍රයෙහි ඉපදුනාවූ හෝ යම්තාක් සත්ත්වයෝ ඇත්තාහුද, අර්හත් සම්‍යක් සම්බුද්ධවූ තථාගත තෙම ඔවුන්ට අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් බුදුන් කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍රවූ දෙයෙහි පැහැදුනාහු වෙති. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ. මහණෙනි, සංඛත ධර්මයෝ යම් තාක් ඇත්තාහුද, ඔවුන් අතුරෙන් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය අග්‍රයයි කියනු ලැබේ. මහණෙනි, යම් කෙනෙක් ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගයෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුනෝය. අග්‍ර දෙයෙහි පැහැදුනවුන්ට, අග්‍ර විපාකය වේ. මහණෙනි, සංඛතවූ හෝ අසංඛත වූ හෝ යම්තාක් ධර්ම වෙත්ද, ඔවුන් අතුරෙන් විරාග සංඛ්‍යාත නිර්වාණය අග්‍රයයි කියනු ලැබේ. මදය නොමදයක් කරන, පිපාස සංසිඳුවන, තෘෂ්ණාව නසන, වට්ටය සිඳින, තෘෂ්ණා ක්ෂයවූ, විරාගවූ, නිරෝධවූ නිර්වාණයක් නිර්වාණයයි. මහණෙනි, යම් කෙනෙක් ධර්මයෙහි පැහැදුනාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකවේ. මහණෙනි, යම්තාක් සමූහයෝ වෙත්ද, ඔවුන් අතුරෙන් පුරුෂ යුග සතරක්වූ, පුරුෂ පුද්ගලයන් අට දෙනෙක් වූ, ආහුණෙය්‍යවූ, පාහුණෙය්‍යවූ, දක්ඛිණෙය්යවූ, අඤ්ජලිකරණීයවූ භාග්‍යවතුන් වහන්සේ ගේ මේ ශ්‍රාවක සංඝයා අග්‍රයි. මහණෙනි, යම් කෙනෙක් සංඝයා කෙරෙහි පැහැදුණාහුද, ඔවුහු අග්‍ර දෙයෙහි පැහැදුණාහුය. අග්‍ර දෙයෙහි පැහැදුණවුන්ට අග්‍ර විපාකය වේ. මහණෙනි, මේ අග්‍රයන් කෙරෙහි පැහැදීම් සතරය.
’’ඒකාන්තයෙන් අග්‍රවූවන්ට පැහැදුනවුන්ට, අග්‍රවූ ධර්මය දැනගන්නවුන්ට, නිරුත්තර, අග්‍ර දක්ෂිණෙය්යවූ, බුදුන් කෙරෙහි පැහැදුනවුන්ට, රාගයෙන් දුරුවූ, සංසිඳීම් සැපය ඇති, අග්‍ර ධර්මයෙහි පැහැදුනවුන්ටද, නිරුත්තර පුන්යක්ෂෙත්රවූ අග්‍ර සංඝයා කෙරෙහි පැහැදුණවුන්ටද, අග්‍ර වස්තූන් කෙරෙහි දන් දෙන්නවුන්ටද, අග්‍රවූ පින් වැඩෙයි. අග්‍රවූ ආයු, වර්ණ, සැප, බල, යසස්, කීර්ති ලැබෙයි. අග්‍ර ධර්මයන්ගෙන් යුක්තවූ, අග්‍ර පුද්ගලයාට දන් දෙන්නාවූ, අග්‍ර ධර්මයෙන් යුත් නුවණැති පුද්ගල තෙමේ දෙවි වූයේ හෝ, මනුෂ්‍ය වූයේ හෝ, අග්‍ර සැපයට පැමිණ සතුටු වෙයි.’’