අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(6) 1. පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය

10. ගිහි සාමීචි පටිපදා සූත්‍රය

’’ඉක්බිති අනේපිඬු ගෘහපති තෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එහි පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක හුන්නේය.

’’එකත්පසෙක හුන් අනාථපිණ්ඩික ගෘහපතියාට, භාග්‍යවතුන් වහන්සේ, ’’ගෘහපතිය, කරුණු සතරකින් යුක්ත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යසස් ලබන්නාවූද, ස්වර්‍ගය පිණිස පවත්තාවූද, ගිහි සාමීචි ප්‍රතිපදාවට පැමිණියේ වෙයි. කවර සතරකින්ද යත්?

’’ගෘහපතිය, මේ ලෝකයෙහි ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම භික්‍ෂු සංඝයා චීවරයෙන් උපස්ථාන කෙළේද, භික්‍ෂු සංඝයා පිණ්ඩපාතයෙන් උපස්ථාන කළේ වේද, භික්‍ෂු සංඝයා සෙනසුනෙන් උපස්ථාන කළේ වේද, භික්‍ෂු සංඝයා ගිලන්පස බෙහෙත් පිරිකරින් උපස්ථාන කළේ වේද, ගෘහපතිය, මේ කරුණු සතරින් යුක්ත ආර්‍ය්‍ය ශ්‍රාවක තෙම යසස් ලැබෙන, ස්වර්‍ගය පිණිස පවත්නා ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

’’යහපත් මාර්‍ගයෙහි පිළිපන්නාවූ, සීලවන්තයෝ චීවරයෙන්ද, පිණ්ඩපාතයෙන්ද, සෙනස්නෙන්ද, ගිලන්පස බෙහෙත් පිරිකරින්ද, උපස්ථාන කරණ ලද්දාහුද, ඒ පණ්ඩිතයෝ ගිහි සාමීචි ප්‍රතිපදාවට පිළිපන්නාහුය. යහපත් කර්‍මයක් කොට රෑ දවල් සියලු කල්හි පින් වැඩේ. ස්වර්‍ගයටද පැමිණේ.’’

හයවැනි පුඤ්ඤාභිසන්‍ද වර්‍ගය නිමි.