අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(12) 2. අන්‍ධකවින්‍ද වර්‍ගය
1. කුලූපග සමණ සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, කුලයට එළඹෙන්නාවූ භික්‍ෂු තෙම කුලයන්හි අප්‍රියවූවෙක්ද, අමනාපවූවෙක්ද, ගෞරව නැත්තෙක්ද, බුහුමන් නැත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්? තමා හා සන්ථව නැත්තවුන් කෙරෙහි විශ්වාස ඇත්තේ වේද, අධිපති නොවූයේම අධිපතියෙකු මෙන් කටයුතු ඇත්තේද, වෙන්වූ කුල ගැලපීම පිණිස එළඹීම් ඇත්තේ වේද, කණ ලඟ කරණ කථා ඇත්තේ වේද, අධිකකොට ඉල්ලීම් ඇත්තේ වේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ, කුලයට එළඹෙන්නාවූ භික්‍ෂු තෙම කුලයන්හි අප්‍රියවූවෙක්ද, අමනාපවූවෙක්ද, ගෞරව නැත්තෙක්ද, බුහුමන් නැත්තෙක්ද වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ කුළුපග භික්‍ෂු තෙම කුලයන්හි ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගෞරව ඇත්තෙක්ද, බුහුමන් කරන්නෙක්ද වේ.
’’කවර පසකින්ද යත්? තමන් හා සන්ථව නැත්තවුන් කෙරෙහි විශ්වාස නැත්තේ වේද, අධිපති නොව අධිපතියෙනු මෙන් කරණ කටයුතු නැත්තේ වේද, වෙන්වූ කුල ගැළපීම පිණිස එළඹීම් ඇත්තේ නොවේද, කණ ලඟ කරණ කථා ඇත්තේ නොවේද, අධිකවූ ඉල්වීම් ඇත්තේ නොවේද යන මේ පසිනි.’’
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ කුළුපග භික්‍ෂු තෙම කුලයන්හි ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගෞරව ඇත්තෙක්ද, බුහුමන් කරන්නෙක්ද වේ.