අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
3. තුන්වන පණ්ණාසකය
(13) 3. ගිලාන වර්‍ගය
7. සංඝපකාසන සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ.
’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුනු පරිදි සිවුරෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ නොවේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ නොවේද, කාමය පිළිබඳ සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කෙරේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසු නොවේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසුය.
’’කවර පසකින්ද යත්, මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම ලැබුණු පරිදි සිවුරෙන් සතුටුවූයේද, ලැබුනු පරිදි පිණ්ඩපාතයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ශයනාසනයෙන් සතුටුවූයේ වේද, ලැබුනු පරිදි ගිලන්පස බෙහෙත් පිරිකරෙන් සතුටුවූයේ වේද, නෛෂ්කාම්‍ය සංකල්පනා බහුලකොට ඇත්තේ වාසය කෙරේද, යන පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ භික්‍ෂු තෙම සංඝයාගෙන් වෙන්ව, තනිව වාසය කරන්ට සුදුසුය.