අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(17) 2. අඝාත වර්‍ගය

7. චොදක ධම්ම සූත්‍රය

’’එකල්හි වනාහි ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම, ’’ඇවැත්නි මහණෙනි,’’ යි භික්‍ෂූන්ට ඇමතූ සේක. ’’ඇවැත්නි’’ කියා ඒ භික්‍ෂූහු ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්හ. ආයුෂ්මත් සාරීපුත්‍ර ස්ථවිර තෙම මෙය වදාළේය.

’’ඇවැත්නි, අනිකාට චෝදනා කරණු කැමතිවූ චෝදක භික්‍ෂූහු විසින් කරුණු පසක් තමන් කෙරෙහි පිහිටුවා අන්‍යයා චෝදනා කටයුතු වේ.

’’කවර පසක්ද යත්? සුදුසු කාලයෙහි නොකියන්නෙමි. වූවකින් කියන්නෙමි, නුවූවකින් නොකියන්නෙමි. මෘදු වශයෙන් කියන්නෙමි, ඵරුෂ වශයෙන් නොකියන්නෙමි. වැඩ සහිත වූවකින් කියන්නෙමි, අවැඩ සහිත වූවකින් නොකියන්නෙමි. මෛත්‍රී සිතින් කියන්නෙමි, ද්වේෂ සිතින් නොකියන්නෙමි යන පසයි.

’’ඇවැත්නි, අනිකාට චෝදනා කරණු කැමතිවූ චෝදක භික්‍ෂූහු විසින් කරුණු පසක් තමන් කෙරෙහි පිහිටුවා අන්‍යයා චෝදනා කටයුතු වේ.

’’ඇවැත්නි, මේ ශාසනයෙහි මම අකාලයෙහි චෝදනා කරන්නාවූ, සුදුසු කාලයෙහි චෝදනා නොකරන්නාවූ කිපියාවූ ඇතැම් පුද්ගලයෙකු දක්නෙමි. අභූතයෙන් චෝදනා කරණු ලබන්නාවූ, භූතයෙන් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, ඵරුෂ වශයෙන් චෝදනා කරන්නාවූ, මෘදු වශයෙන් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, අවැඩ යුක්තවූවකින් චෝදනා කරන්නාවූ, වැඩ සහිතවූවකින් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, ද්වේෂ සිතින් චෝදනා කරන්නාවූ, මෛත්‍රී සිතින් චෝදනා නොකරන්නාවූ කිපියාවූද, අතැම් පුද්ගලයෙකු දක්නෙමි. ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ ලද භික්‍ෂුහට පස් ආකාරයකින් විපිළිසර වීම ඉපදවිය යුතුයි.

’’ආයුෂ්මත් තෙමේ නුසුදුසු කල්හි චෝදනා කරණ ලදී. සුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අසත්‍යයෙන් චෝදනා කරණ ලදී. සත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී. මෘදු වශයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අවැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. වැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. මෛත්‍රී සිතින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය.

’’ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරණ ලද භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසර වීම ඉපදවිය යුතුයි. ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරන්නාවූ භික්‍ෂුහට පස් ආකාරයකින් විපිළිසරය ඉපදවිය යුතුයි. ආයුෂ්මත් තෙමේ නුසුදුසු කල්හි චෝදනා කරණ ලදී. සුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අසත්‍යයෙන් චෝදනා කරණ ලදී. සත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ඵරුෂ වශයෙන් චෝදනා කරණ ලදී. මෘදු වශයෙන් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ අවැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. වැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ ද්වේෂ සිතින් චෝදනා කරණ ලදී. මෛත්‍රී සිතින් නොවේ. තොපට විපිළිසර වීමට සුදුසුය. ඇවැත්නි, අධර්‍මයෙන් චෝදනා කරන්නාවූ භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසරය ඉපදවිය යුතුයි. ඊට හේතු කවරේද? යම්සේ අන්‍ය භික්‍ෂුවක් තෙමේද අසත්‍යයෙන් චෝදනා කටයුතුකොට නොහඟින්නේද, එසේයි.

’’ඇවැත්නි, මෙහි වනාහි මම සුදුසු කල්හි චෝදනා කරණු ලබන්නාවූ, නොකල්හි චෝදනා නොකරන්නාවූ කිපුනාවූ ඇතැම් පුද්ගලයෙකු දකිමි. සත්‍යයෙන් චෝදනා කරන්නාවූ අසත්‍යයෙන් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, මෘදු වශයෙන් චෝදනා කරන්නාවූ ඵරුෂ වශයෙන් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, වැඩ සහිත වූවකින් චෝදනා කරන්නාවූ අවැඩ සහිත වූවකින් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, මෛත්‍රී සිතින් චෝදනා කරන්නාවූ ද්වේෂ සිතින් චෝදනා නොකරන්නාවූ කිපුනාහුද, ඇතැම් පුද්ගලයෙකු දක්නෙමි. ඇවැත්නි, ධර්‍මයෙන් වෝදනා කරණ ලද භික්‍ෂුහට පස් ආකාරයකින් විපිළිසරය නොඉපදවිය යුතුයි.

’’ආයුෂ්මත් තෙමේ සුදුසු කල්හි චෝදනා කරණ ලදී. නුසුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ සත්‍ය වූවකින් චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෘදු වශයෙන් චෝදනා කරණ ලදී. ඵරුෂ වශයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ වැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. අවැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෛත්‍රී සිතින් චෝදනා කරණ ලදී. ද්වේෂ සිතකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුයයි.

’’ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරණ ලද භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් විපිළිසර ඉපදවිය යුතුයි. ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරන්නාවූ භික්‍ෂුහට පස් ආකාරයකින් නොවිපිළිසරවීම ඉපදවිය යුතුයි. ආයුෂ්මත් තෙමේ සුදුසු කල්හි චෝදනා කරණ ලදී. නුසුදුසු කල්හි නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ සත්‍ය වූවකින් චෝදනා කරණ ලදී. අසත්‍යයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෘදු වශයෙන් චෝදනා කරණ ලදී. ඵරුෂ වශයෙන් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ වැඩ සහිත වූවකින් චෝදනා කරණ ලදී. අවැඩ සහිත වූවකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුය. ආයුෂ්මත් තෙමේ මෛත්‍රී සිතින් චෝදනා කරණ ලදී. ද්වේෂ සිතකින් නොවේ. තොපට විපිළිසර නොවීමට සුදුසුයයි. ඇවැත්නි, ධර්‍මයෙන් චෝදනා කරන්නාවූ භික්‍ෂුහට මේ පස් ආකාරයෙන් නොවිපිළිසර වීම ඉපදවිය යුතුයි. ඊට හේතු කවරේද? යම් සේ අන්‍ය භික්‍ෂුවක් තෙමේත් සත්‍ය වූවකින් චෝදනා කටයුතු කොට හඟින්නේද, එසේයි.

’’ඇවැත්නි, චෝදනා ලද පුද්ගලයා විසින් සත්‍යයෙහිද, නොකිපීමෙහිද යන ධර්‍ම දෙක්හි පිහිටිය යුතුයි. ඇවැත්නි, ඉදින් මටම සුදුසු කල්හි හෝ නුසුදුසු කල්හි, සත්‍යයෙන් හෝ අසත්‍යයෙන් හෝ, මෘදු වශයෙන් හෝ ඵරුෂ වශයෙන් හෝ, වැඩ සහිත වූවකින් හෝ අවැඩ සහිත වූවකින් හෝ, මෛත්‍රී සිතින් හෝ ද්වේෂ සිතකින් හෝ අන්‍යයෝ චෝදනා කරන්නාහු නම් මමද සත්‍යයෙහිද නොකිපීමෙහිද යන ධර්‍ම දෙක්හිම පිහිටන්නෙමි. ඉදින් මා කෙරෙහි මේ ධර්‍මය ඇතැයි දන්නෙම් නම්, මේ ධර්‍මය මා කෙරෙහි ඇත්තේයයි ඒ කියන්නෙමි. ඉදින් මේ ධර්‍මය මා කෙරෙහි නැත්තේයයි දන්නෙම් නම්, මේ ධර්‍මය මා කෙරෙහි නැත්තේයයි එය කියන්නෙමි’’ යි කීයේය.