අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(17) 2. අඝාත වර්‍ගය
10. භද්දජී - ආනන්‍ද සූත්‍රය
එක් කලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසයි. එකල්හි ආයුෂ්මත් භද්දජි ස්ථවිරතෙම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් සමග සතුටු වූයේය. සතුටු විය යුතු, සිහි කටයුතු කථාව කොට නිමවා එකත් පසෙක හුන්නේය.
එකත්පසෙක උන්නාවූම ආයුෂ්මත් භද්දජි ස්ථවිරයන්ට ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම මෙය කීයේය. ’’ ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි, කුමක් නම් දර්‍ශනයන්ගෙන් අග්‍රද, කුමක් ශ්‍රවණයන්ගෙන් අග්‍රද, කුමක් සැපයන්ගෙන් අග්‍රද, කුමක් සංඥාවන්ගෙන් අග්‍රද, කුමක් භවයන්ගෙන් අග්‍රද?’’
’’ඇවැත්නි. අනුන් මැඩපවත්නාවූ, තමන් නොමැඩ පවත්වන ලද්දාවූ, ඒකාන්තයෙන් සියල්ල දක්නාවූ, සියලුදෙනා වසඟයෙහි පවත්වන්නාවූ බ්‍රහ්මතෙම ඇත්තේය. යමෙක් ඒ බ්‍රහ්මයා දකීද, මෙය දර්‍ශනයන්ගෙන් අග්‍රය. ඇවැත්නි. සැපයෙන් විශෙෂයෙන් පිනාගියාවූ, හාත්පසින් පිනාගියාවූ, ආභාශ්වර නම් දෙවියෝ ඇත්තාහ. ඔවුහු කිසිකලෙක ’අනේ සැපය, අනේ සැපය’ යි ප්‍රීති වාක්‍ය පවත්වත්. යමෙක් ඒ ශබ්දය අසාද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය. ඇවැත්නි. ශුභකිණ්ණක නම් දෙවියෝ ඇත්තාහ. ඔවුහු සුවපත් භාවය ඇත්තාහුම සුවය විඳිත්. මේ සැපයන්ගෙන් අග්‍රය. ඇවැත්නි. ආකිඤ්චඤ්ඤායතන බඹ ලොවට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය සංඥාවන්ගෙන් අග්‍රය. ඇවැත්නි. නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණියාවූ දෙවියෝ ඇත්තාහ. මෙය භවයන්ගෙන් අග්‍රය’’ යි කීයේය.
’’ආයුෂ්මත් භද්දජි ස්ථවිරන්ගේ යම් මේ කීමෙක් වේද. මෙය බොහෝ දෙනා හා සමවේය’’ යි කීයේය.
’’ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙමේ වනාහි බහුශ්‍රුතවේ. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට මෙය වැටහේවාය’’ යි කීයේය.
’’ආයුෂ්මත් භද්දජි ස්ථවිරයෙනි, එසේ වී නම් අසව. මනාකොට මෙනෙහි කරවයි කියන්නෙමි.’’ යි කීයේය. ’’ඇවැත්නි. එසේය’’ යි ආයුෂ්මත් භද්දජි ස්ථවිරතෙම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන්ට ප්‍රතිවචන දුන්නේය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරතෙම මෙය කීයේය. ’’ඇවැත්නි. යම්සේ දක්නහුට වනාහි අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය දර්‍ශනයන්ගෙන් අග්‍රය. යම්සේ අසනන්හුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය ශ්‍රවණයන්ගෙන් අග්‍රය. යම්සේ සුවපත්වූවහුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය සැපයන්ගෙන් අග්‍රය. යම්සේ සංඥා ඇත්තහුට ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය සංඥාවන්ගෙන් අග්‍රය. යම්සේ වූවහුට අනතුරුව ආශ්‍රවයන්ගේ නැසීම වේද, මෙය භවයන්ගෙන් අග්‍රය’’ යි කීයේය.
ආඝාතවග්ගො