අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(18) 3. උපාසක වර්‍ගය

1. සාරජ්ජොක්කන්ත සූත්‍රය

’’මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටානන් විසින් කරවන ලද. ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි,’’ යි කියා භික්‍ෂූන්ට ආමන්ත්‍රණය කළ සේත ’’පින්වතුන් වහන්සැ’’ යි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිවදන් දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.

’’කවර පසකින්ද යත්? ප්‍රාණඝාත කරන්නේ වේද, අදත්තාදානය කරන්නේ වේද, කාමමිත්‍ථ්‍යාචාරය ඇත්තේ වේද, මුසාවාද ඇත්තේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානය ඇත්තේ වේද යන පසිනි.

’’ මහණෙනි, මේ කරුණු පසින් යුක්තවූ උපාසකතෙම දොම්නසට බැසගත්තේ වෙයි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.

’’කවර පසකින්ද යත්? ප්‍රාණඝාතයෙන් වැළකුණේ වේද, අදත්තාදානයෙන් වැළකුණේ වේද, කාමමිත්‍ථ්‍යාචාරයෙන් වැළකුණේ වේද, මුසාවාදයෙන් වැළකුණේ වේද, මදයට හා ප්‍රමාදයට කරුණුවූ රහමෙර පානයෙන් වැළකුණේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ උපාසකතෙම භය නැත්තෙක් වේ.