අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
4. සතරවැනි පණ්ණාසකය
(19) 4. ආරඤ්ඤක වර්‍ගය
6. පඤ්චනෙසජ්ජික සූත්‍රය
’’මහණෙනි, මේ නෙසජ්ජිකවූවාහු පස් දෙනෙක් වෙත්.
’’කවර පස් දෙනෙක්ද යත්? නුවණ මඳ බැවින්, ඉතා මුළා බැවින්, නෙසජ්ජිකවූවෙක් වේ. ලාමක ආසා ඇත්තේ, ආසාවෙන් මඩනා ලද්දේ නෙසජ්ජිකවූවෙක් වේ. උමතු බැවින්, චිත්ත වික්‍ෂෙපයෙන් නෙසජ්ජිකවූවෙක් වේ. බුදුවරයන් විසින් බුද්‍ධ ශ්‍රාවකයන් විසින් වර්‍ණනා කරණ ලදැයි නෙසජ්ජිකවූවෙක් වේ. මද ආසා ඇති බවම නිසා, සතුට ඇති බවම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, නෙසජ්ජිකවූවෙක් වේ. යන පස් දෙනයි.
’’මහණෙනි, මේ නෙසජ්ජිකවූවාහු පස් දෙනෙක් වෙත්.
’’මහණෙනි, නෙසජ්ජිකවූවාහු මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ නෙසජ්ජිකවූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා නෙසජ්ජිකවූවෙක් වේද, මෙතෙම නෙසජ්ජිකවූවාහු පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.
’’මහණෙනි, යම්සේ දෙනගෙන් කිරිද, කිරෙන් දී ද, දී වලින් වෙඬරුද. වෙඬරුවෙන් ගිතෙල්ද, ගිතෙලින් ගිතෙල් මණ්ඩයතෙම එහි අග්‍රයයි කියනු ලැබේද, මහණෙනි, මෙපරිද්දෙන්ම මහණෙනි, නෙසජ්ජිකවූවාවූ මේ පස් දෙනාගෙන් වනාහි යම් මේ නෙසජ්ජිකවූවෙක් තෙම අල්පෙච්ඡ බවම නිසා, සන්තුෂ්ටියම නිසා, සැහැල්ලු බවම නිසා, උතුම් විවේකයම නිසා, මෙයම අර්ත්‍ථ කොට ඇති බවම නිසා නෙසජ්ජිකවූවෙක් වේද, මෙතෙම රුක්මුල්හි නෙසජ්ජිකවූවාහු පස් දෙනා අතුරෙන් අග්‍රවූවෙක්ද, ශ්‍රෙෂට වූවෙක්ද, ප්‍රධාන වූවෙක්ද, උතුම් වූවෙක්ද, අධිපති වූවෙක්ද වේ.