අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

4. සතරවැනි පණ්ණාසකය

(20) 5. බ්‍රාහ්මණ වර්‍ගය (සොණ වර්‍ගය)

9. කුලුපසංකමන සූත්‍රය

’’මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්‍රව්‍රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්.

’’කවර පසකින්ද යත්? මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු සිත් පහදවත්ද, මහණෙනි, එකල්හි ඒ කුලය ස්වර්‍ග සැප පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වෙයි.

’’ මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු හුනස්නෙන් නැගිටිද්ද, මනාකොට වඳිද්ද, ආසනය දෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය උසස් කුල ඇතිවීම පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

’’ මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මසුරුමල දුරුකෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පිරිවර ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

’’ මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු ශක්තිවූ පරිද්දෙන් බලයවූ පරිද්දෙන්, දානසංවිභාගය කෙරෙද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් සම්පත් ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

’’ මහණෙනි, යම් කලෙක්හි කුලයට එළඹෙන්නාවූ. සිල්වත්වූ ප්‍රව්‍රජිතයන් දැක මිනිස්සු කරුණු විචාරද්ද, ප්‍රශ්න කෙරෙද්ද, ධර්‍මය අසද්ද, මහණෙනි, එකල්හි ඒ කුලය මහත් පුඥාව ඇතිබැව් පිණිස පවත්නාවූ ප්‍රතිපදාවට පිළිපන්නේ වේ.

’’මහණෙනි, යම් කලෙක්හි සිල්වත්වූ ප්‍රව්‍රජිතයෝ කුලයට එළඹෙත්ද, එහි මිනිස්සු කරුණු පසකින් බොහෝ පින් රැස් කරත්.