අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(22) 2. අක්කොසක වර්‍ගය

4. බහුභාණ්‍යාදීනව සූත්‍රය

’’මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

’’කවර පසක්ද යත්? බොරු කියයි. කේලාම් කියයි. ඵරුෂ වචන කියයි. හිස් වචන කියයි. ශරීරය බිඳීමෙන් මරණින් මතු සැප නැති, දුකට පිහිටවූ, නපුරු සේ පතිත වන්නාවූ නරකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, බොහෝකොට කථාකරන්නාවූ පුද්ගලයා කෙරෙහි මේ දෝෂ පසක් වෙත්.

’’මහණෙනි, පමණ දැන කථා කරණ පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්.

’’කවර පසක්ද යත්, බොරු නොකියයි. කේලාම් නොකියයි. ඵරුෂ වචන නොකියයි. හිස් වචන නොකියයි. ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගති නම් දිව්‍ය ලෝකයෙහි උපදියි. යන පසයි.

’’මහණෙනි, පමණ දැන කථා කරණ පුද්ගලයා කෙරෙහි මේ අනුසස් පසක් වෙත්.