අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(8) 3. යොධාජීව වර්‍ගය (අනාගතභය වර්‍ගය)

1. පඨම චෙතො විමුක්ති ඵල සූත්‍රය

’’මහණෙනි, මේ ධර්ම පසක් වඩනා ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, අර්හත්ඵල සමාධිය විපාකකොට ඇත්තාහුද, අර්හත්ඵල සමාධිය අනුසස්කොට ඇත්තාහුද, අර්හත්ඵල ප්‍රඥාව විපාකකොට ඇත්තාහුද, අර්හත්ඵල ප්‍රඥාව අනුසස්කොට ඇත්තාහුද වෙත්.

’’කවර පසක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂු තෙම කයෙහි අශුභය අනුව බලමින් වාසය කෙරේද, ආහාරයෙහි පිළිකුල් සංඥා ඇත්තේ, සියලු ලෝකයෙහි නොඇලීම් සංඥා ඇත්තේ, සියලු සංස්කාරයන්හි අනිත්‍යය අනුව බලමින් වාසය කෙරේද, මොහුගේ මරණ සංඥාව වනාහි තමන් කෙරෙහි මනාව එළඹ සිටියා වේද යන පසයි.

’’මහණෙනි, මේ ධර්ම පස වනාහි වඩන ලද්දාහු, බහුල වශයෙන් කරණ ලද්දාහු, චිත්ත විමුක්තිය ඵලය කොට ඇත්තාහුද, චිත්ත විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තාහුද වෙත්. ප්‍රඥා විමුක්තිය ඵල කොට ඇත්තාහුද, ප්‍රඥා විමුක්ති ඵලය අනුසස් කොට ඇත්තාහුද වෙත්.

’’මහණෙනි, යම් කලෙක වනාහි භික්‍ෂු තෙම චිත්ත විමුක්තවූයේත් ප්‍රඥා විමුක්ත වූයේත් වේද, මහණෙනි, මේ භික්‍ෂු තෙම හරින ලද අවිද්‍යා නමැති අගුළු ඇත්තේයයිද, නසන ලද සංසාර නමැති දිය අගල ඇත්තේයයිද, සිඳිනා ලද තෘෂ්ණා නමැති ඉන්‍ද්‍රඛීල ඇත්තේයයිද, නීවරණ නමැති අගුළු හරින ලද්දේයයිද, ආර්‍ය්‍යවූ, ජනිතවූ, මාන ධජ ඇත්තේ, බහා තබන ලද ස්කන්‍ධාදී බර ඇත්තේ, සංසාරයෙන් වෙන්වූයේයයිද කියනු ලැබේ.

’’මහණෙනි, කෙසේනම් භික්‍ෂු තෙම ඔසවන ලද අගුල ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහුගේ අවිද්‍යා තොමෝ ප්‍රහීණ වූවා,

’’සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද,

’’මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ඔසවන ලද අගුල ඇත්තී වෙයි.

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම නසන ලද දිය අගල ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහුගේ නැවත භවය ඇතිකරන්නාවූ ජාති සංසාරය ප්‍රහීණ වේද, සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම නසන ලද දිය අගල ඇත්තේ වෙයි.

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම ඇද දමන ලද ඉන්‍ද්‍රඛීල ඇත්තේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහුගේ තෘෂ්ණාව ප්‍රහීණවූවා සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම ඇද දමන ලද ඉන්‍ද්‍රඛීල ඇත්තේ වේ.

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම අගුළු රහිත වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහුගේ ඕරම්භාගීය සංයෝජන පස ප්‍රහීණ වූවාහු සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම අගුළු රහිත වූයේ වේද,

’’මහණෙනි, කෙසේ නම් භික්‍ෂු තෙම හෙලන ලද ධජ ඇත්තාවූ, සසරින් වෙන්වූ ආර්‍ය්‍යයෙක් වේද? මහණෙනි, මේ ශාසනයෙහි භික්‍ෂුහුගේ වෙමි යන මානය ප්‍රහීණ වූයේ, සිඳින ලද මුල් ඇත්තී, අග සිඳින ලද තල් ගසක් මෙන් කරණ ලද්දී, නැවත අභාවය කරණ ලද්දී, මත්තෙහි නූපදිනා ස්වභාව ඇත්තී වේද, මහණෙනි, මෙසේ වනාහි භික්‍ෂු තෙම හෙලන ලද ධජ ඇති, බහා තබන ලද බර ඇති, සසරින් වෙන්වූ ආර්‍ය්‍යයෙක් වේය’’ යි වදාළ සේක.