අඞ්ගුත්තරනිකායො
පඤ්චක නිපාතය
2. දෙවැනි පණ්ණාසකය
(9) 4. ථෙර වර්‍ගය
1. රජනීය සූත්‍රය
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්, ඇළුම් කටයුතු අරමුණෙහි ඇලේද, දූෂ්‍ය කටයුත්තෙහි දූෂ්‍යවේද, මුළා වියයුත්තෙහි මුළා වේද, කිපිය යුත්තෙහි කිපේද, මත්විය යුත්තෙහි මත්වේද යන මේ පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.
’’කවර පසකින්ද යත්? ඇළුම් කටයුතු අරමුණෙහි නොඇලේද, දූෂ්‍ය කටයුත්තෙහි දූෂ්‍ය නොවේද, මුළා වියයුත්තෙහි මුළා නොවේද, කිපිය යුත්තෙහි නොකිපේද, මත්විය යුත්තෙහි මත් නොවේද යන මේ පසිනි.
’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.