අඞ්ගුත්තරනිකායො

පඤ්චක නිපාතය

2. දෙවැනි පණ්ණාසකය

(9) 4. ථෙර වර්‍ගය

2. අවීතරාග සූත්‍රය

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.

’’කවර පසකින්ද යත්? පහ නොවූ රාග ඇත්තේ වේද, පහ නොවූ ද්වේෂ ඇත්තේ වේද, පහ නොවූ මොහ ඇත්තේ වේද, ගුණමකු වූයේ වේද, යුගග්‍රාහ ඇත්තේ වේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට අප්‍රියයෙක්ද, අමනාපවූවෙක්ද, ගරු නොකටයුත්තෙක්ද, බුහුමන් නොකටයුත්තෙක්ද වේ.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.

’’කවර පසකින්ද යත්? පහවූ රාග ඇත්තේ වේද, පහවූ ද්වේෂ ඇත්තේ වේද, පහවූ මොහ ඇත්තේ වේද, ගුණමකු වූයේ නොවේද, යුගග්‍රාහ ඇත්තේ නොවේද, යන පසිනි.

’’මහණෙනි, කරුණු පසකින් යුක්තවූ ස්ථවිර භික්‍ෂු තෙම බ්‍රහ්මචාරීන්ට ප්‍රියවූවෙක්ද, මනාපවූවෙක්ද, ගරු කටයුත්තෙක්ද, බුහුමන් කටයුත්තෙක්ද වේ.