අඞ්ගුත්තරනිකායො
ඡක්ක නිපාතය
1. පළමුවෙනි පණ්ණාසකය
2. සාරාණීය වර්‍ගය
7. අචිරපබ්බජිත සූත්‍රය
’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු මහ සිටුහුගේ ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. ඉක්බිත්තෙන් භාග්‍යවතුන් වහන්සේ සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් උපස්ථාන ශාලාව යම් තැනකද, එතැනට පැමිණි සේක. පැමිණ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේද. සවස් කාලයෙහි විවේකයෙන් නැගිටි සේක් උපස්ථාන ශාලාව යම් තැනකද, එතැනට පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියහ. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාශ්‍යප ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කාත්‍යායන ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා චුන්‍ද ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් මහා කප්පින ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් අනුරුද්ධ ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් රෙවත ස්ථවිරයන් වහන්සේද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද, සවස් කාලයෙහි විවේකයෙන් නැගිටියාහු උපස්ථාන ශාලාව යම් තැනකද, එතැන්හි පැමිණියහ.
’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේරෑ බොහෝ වේලාවක් වැඩ හිඳීමෙන් කාලය ගෙවා අස්නෙන් නැගිට විහාරයට වැඩිසේක. ඒ ආයුෂ්මතුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේ අස්නෙන් නැගිට ස්වල්ප වේලාවකින්ම වැඩ වසන තැන්වලට වැඩියහ. එහි නවකවූ, පැවිදිව වැඩි කලක් නැති, මේ ශාසනයට අළුතෙන් පැමිණි යම් ඒ භික්‍ෂූහු වූවාහුද, උන්වහන්සේලා හිරු නැගෙනතුරුම ගොරවමින් නිදාගත්හ. භාග්‍යවතුන් වහන්සේ පිරිසිදුවූ මනුෂ්‍යත්වය ඉක්මවූ දිවැසින් හිරු නැගෙනතෙක් ගොරවමින් නිදාගන්නාවූ ඒ භික්‍ෂූන් දැක, උපස්ථාන ශාලාව යම් තැනකද, එතැනට පැමිණි සේක. පැමිණ, පැනවූ අස්නෙහි වැඩ සිටි සේක. වැඩහිඳ වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්‍ෂූන්ට ඇමතූ සේක.
’’මහණෙනි, ශාරීපුත්‍රයන් වහන්සේ කොහිද ? මොග්ගල්ලානයන් වහන්සේ කොහිද ? මහා කාශ්‍යපයන් වහන්සේ කොහිද ? මහා කච්චායනයන් වහන්සේ කොහිද ? මහා කොට්ඨිතයන් වහන්සේ කොහිද ? මහා චුන්‍දයන් වහන්සේ කොහිද ? මහා කප්පිනයන් වහන්සේ කොහිද ? අනුරුද්‍ධයන් වහන්සේ කොහිද ? රේවතයන් වහන්සේ කොහිද ? ආනන්‍දයන් වහන්සේ කොහිද ? මහණෙනි, ඒ ස්ථවිර ශ්‍රාවකයෝ කොහි ගියාහුද ?
’’ස්වාමීනි, ඒ ආයුෂමතුන් වහන්සේලාද භාග්‍යවතුන් වහන්සේ වැඩමවා ටික වේලාවකින්ම වැඩ වසන තැන්වලට වැඩියහ.
’’මහණෙනි, කවර හෙයකින් ස්ථවිරවූද, නවකවූද, යුෂ්මත්හු හිරු නැගෙන තෙක් ගොරවමින් නිදා ගත්තහුද? මහණෙනි, එය කුමකැයි සිතන්නහුද? අභිෂෙක ලත් ක්‍ෂත්‍රිය රජතෙම ඇතිතාක් නිදාගැන්මෙහි සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් දිවි ඇතිතාක් වාසය කරන්නේ, රාජ්‍යයට හෝ ජනපදයට හෝ ප්‍රියවූයේ, මනාපවූයේදැයි යුෂ්මතුන් දැක තිබේද ? අසා තිබේද ? ’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති. අභිෂෙකලත් ක්‍ෂත්‍රිය රජතෙම ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් දිවි ඇතිතාක් රාජ්‍යය කරන්නේ, රාජ්‍යයට හෝ ජනපදයට හෝ ප්‍රියවූයේ, මනාපවූයේදැයි මා විසින්ද නොදක්නා ලදී. නොඅසන ලදී. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? පියාගේ උරුමය ඇති, රටවල් අධිපතියෙක්. සේනාපතියෙක්, ගම් සමූහයක අධිපතියෙක්, ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් වාසය කරන්නේ, දිවි ඇතිතාක් ගම් සමූහයට අධිපතිකම් කරන්නේ ගම් සමූහයට ප්‍රියවූයේ, මනාප වූයේදැයි යුෂමතුන් විසින් දැක තිබේද, අසා තිබේද ?’’
’’ස්වාමීනි, එය දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, යහපති. ගම් සමූහයකට අධිපතියෙක්, ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් වාසය කරන්නේ, දිවි ඇතිතාක් ගම් සමූහයකට අධිපතිකම් කරන්නේ ගම් සමූහයට ප්‍රියවූයේ, මනාප වූයේදැයි මා විසින්ද දැක නැත. අසා නැත. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද අනුව යෙදුනේ, ඉන්‍ද්‍රියයන්හි නොවැසූ දොර ඇත්තේ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නේ, නිදි දුරලීමේ නොයෙදුනේ, පෙර රාත්‍රියද, පසු රාත්‍රියද, කුශල ධර්‍මයන් විශෙෂයෙන් නොදක්නේ, බොධිපාක්‍ෂික ධර්‍මයන් භාවනාවෙහි නොයෙදුනේ, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාශ්‍රවවූ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනා නුවණින් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේයයි යුෂ්මතුන් දැක තිබේද ? අසා තිබේද ?’’ - ’’ස්වාමීනි, දැක නැත. අසා නැත.’’
’’මහණෙනි, මා විසින්ද ගම් සමූහයකට අධිපතියෙක්, ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද, අනුව යෙදෙමින් වාසය කරන්නේ, දිවි ඇතිතාක් ගම් සමූහයකට අධිපතිකම් කරන්නේ ගම් සමූහයට ප්‍රියවූයේ, මනාප වූයේදැයි මා විසින්ද දැක නැත. අසා නැත. මහණෙනි, එය කුමකැයි සිතන්නහුද ? ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් හෝ ඇතිතාක් නිදාගැන්මේ සුවයද, ස්පර්‍ශ සුවයද, මැලිගතියේ සුවයද අනුව යෙදුනේ, ඉන්‍ද්‍රියයන්හි නොවැසූ දොර ඇත්තේ, භෝජනයෙහි ප්‍රමාණය නොදන්නේ, නිදි දුරලීමේ නොයෙදුනේ, පෙර රාත්‍රියද, පසු රාත්‍රියද, කුශල ධර්‍මයන් විශෙෂයෙන් නොදක්නේ, බොධිපාක්‍ෂික ධර්‍මයන් භාවනාවෙහි නොයෙදුනේ, ආශ්‍රවයන්ගේ ක්‍ෂය වීමෙන් අනාශ්‍රවවූ, චිත්ත විමුක්තියද, ප්‍රඥා විමුක්තියද, මෙලොවම තෙමේ මනා නුවණින් ප්‍රත්‍යක්‍ෂකොට එයට පැමිණ වාසය කරන්නේයයි නොදක්නා ලදී. නොඅසන ලදී.
’’මහණෙනි, එහෙයින් මෙහිලා මෙසේ හික්මිය යුතුයි. ’ඉන්‍ද්‍රියයන්හි වැසූ දොර ඇත්තෝ වන්නෙමු. භෝජනයෙහි ප්‍රමාණය දන්නේ, නිදි දුරලීමෙහි යෙදුනේ, පෙර රාත්‍රියද, පසු රාත්‍රියද, කුශල ධර්‍මයන් විශේෂයෙන් දක්නේ, බොධිපාක්‍ෂික ධර්‍මයන් භාවනාවෙහි යෙදුනේ වාසය කරන්නෙමු’ යි මහණෙනි, මෙසේ වනාහි හික්මිය යුතුයි.’’