අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

2. සාරාණීය වර්‍ගය

6. සාපෙඛ නකුල පිතු සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය අසල මෘගදාය නම්වූ භෙසකලා වනයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි නකුල පිතෘ ගෘහපති තෙමේ හටගත් ආබාධ ඇත්තේ, දුක්වූයේ, දැඩිසේ ගිලන්වූයේ වෙයි. ඉක්බිති නකුල මාතෘ ගෘහපතිනිය,නකුල පිතෘ ගෘහපතියාට මෙසේ කීවාය.

’’ගෘහපතිය, ඔබ (ලෞකික) බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ’මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය,දරුවන් පෝෂණය කරන්නට, ගෘහවාසයේ යෙදෙන්නට නොහැකි වන්නේය’ යනුවෙනි. ගෘහපතිය, ඒ කරුණ ගැන එසේ නොසිතිය යුතුය. ගෘහපතිය, මම කපු කටින්නටද, ගෙතූ හිසකේ අවුල් හරින්නටද දක්‍ෂ වෙමි. ගෘහපතිය, ඔබගේ ඇවෑමෙන් දරුවන් පෝෂණය කිරීමට, ගෘහවාසයේ යෙදෙන්නට හැකිවන්නෙමි. ගෘහපතිය, එබැවින් ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ’මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය අනික් පුරුෂයෙකු පාවා ගන්නේය’ යනුවෙනි. ගෘහපතිය, එසේ නොසිතිය යුතුය. යම් කලෙක ඔබ දහසය වසක් ගෘහස්ථ බ්‍රහ්මචර්‍ය්‍යාව සමාදන්වන ලදී. එය ඔබද, මමද, දන්නෙමු. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ’මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනියට භාග්‍යවතුන් වහන්සේද, භික්‍ෂු සංඝයාද දැකීමට නොලැබෙන්නේය’ යනුයි. ගෘහපතිය, එසේ නොසිතිය යුතුයි. ඔබ ඇවෑමෙන් මම භාග්‍යවතුන් වහන්සේ අතිශයින් දකිනු කැමැත්තියක් වන්නෙමි. භික්‍ෂු සංඝයා අතිශයින් දකිනු කැමැත්තියක් වන්නෙමි. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ’මාගේ ඇවෑමෙන් නකුල මාතෘ ගෘහපතිනිය සිල් පුරන්නියක් නොවන්නීය.’ යනුවෙනි. ගෘහපතිය, මෙසේ නොසිතිය යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ, ගිහිවු සුදු වස්ත්‍ර හඳින්නාවූ, සිල් පුරන්නාවූ, ශ්‍රාවිකාවෝ යම් තාක් ඇද්ද, මමද ඒ තැනැත්තියන්ගෙන් එක්තරා ශ්‍රාවිකාවක් වන්නෙමි. යමක වනාහි සැකයක් හෝ විමතියක් හෝ වනනේ නම් ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුරජානන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයේ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වසන සේක. එය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරාවා’. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ’නකුල මාතෘ ගෘහපතිනිය අධ්‍යාත්මික චිත්තසමථය ලබන්නියක් නොවන්නීය.’ යනුවෙනි. ගෘහපතිය, මෙසේ නොසිතිය යුතුය. ගෘහපතිය, ඒ භාග්‍යවතුන් වහන්සේගේ යම්තාක් ගිහිවූ, සුදු වස්ත්‍ර හඳින්නාවූ, අධ්‍යාත්මික චිත්ත සමථය ලැබුවාවූ ශ්‍රාවිකාවෝ වෙද්ද, මමද ඒ තැනැත්තියන්ගෙන් එක්තරා ශ්‍රාවිකාවක් වන්නෙමි. යමක වනාහි සැකයක් හෝ විමතියක් හෝ වනනේ නම් ඒ භාග්‍යවත් අර්හත් සම්බුදුරජානන් වහන්සේ භගුරට සුංසුමාර පර්‍වතය ආසන්නයේ මෘගදාය නම් භෙසකලා වනයෙහි වැඩ වසන සේක. එය භාග්‍යවතුන් වහන්සේගෙන් විචාරාවා’. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. ගෘහපතිය, ඔබට මෙබඳු අදහසක් වන්නේය. ’නකුල මාතා ගෘහපතිනිය මේ ධර්‍ම විනයයයි නම් ලත් ශාසනයෙහි බැසගත්තී, සැනසීම ඇත්තී, තරණය කළ විචිකිච්ඡාව ඇත්තී, වෙන්වූ සැක ඇත්තී, විශාරදත්‍වය ඇත්තී, ශාස්තෘ ශාසනයෙහි උසස් ගුණ විශේෂයන් ලැබීම ඇත්තී වාසය නොකරන්නීය’ යනුවෙනි. ගෘහපතිය, එසේ නොසිතිය යුතුයි. ගෘහපතිය, යම්තාක් ඒ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනයෙහි බැසගත්තාවූ, වෙන්වූ සැනසීම ඇත්තාවූ, තරණය කළ විචිකිච්චාව ඇත්තාවූ, සැක ඇත්තාවූ, විශාරදත්‍වය ඇත්තාවූ, ශාස්තෘ ශාසනයෙහි උසස් ගුණ විශෙෂයෙන් ලැබීම ඇත්තාවූ, යම්තාක් ගිහිවූ, සුදු වස්ත්‍ර හඳින්නාවූ, ශාසනයෙහි වාසය කරන්නාවූ ශ්‍රාවිකාවෝ වෙත් නම්, මමද ඒ ශ්‍රාවිකාවන්ගෙන් එක්තරා තැනැත්තියක් වන්නෙමි. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී. එබැවින් ගෘහපතිය, ඔබ බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා නොකරන්න. ගෘහපතිය, බලාපොරොත්තු ඇතිව කාලක්‍රියා කිරීම දුක්ය. බලාපොරොත්තු ඇතිව කාලත්‍රියා කිරීම භාග්‍යවතුන් වහන්සේ විසින් නින්දා කරණ ලදී.

’’ඉක්බිත්තෙන් නකුල මාතෘ ගෘහපතිනිය විසින් මේ අවවාදයෙන් අවවාද කළ නකුල පිතෘ ගෘහපතියාගේ ඒ ආබාධය එතෙකින් සංසිඳුනේය. නකුල පිතෘ ගෘහපතිතෙමේ ඒ ආබාධයෙන් නැගිට්ටේය. නකුල පිතෘ ගෘහපතියාගේ ඒ ආබාධය එසේ සංසිඳුනේය. ඉක්බිත්තෙන් නකුල පිතෘ ගෘහපති තෙමේ ආබාධයෙන් නැගිට ටික කලකින් ගිලන් බව නිසා සැරයටියක් ආධාරකොට භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැනට පැමිණියේය. එසේ පැමිණ භාග්‍යවතුන් වහන්සේ වැඳ එකත්පසෙක සිටියේය.

’’එකත්පසෙක හුන්නාවූ නකුල පිතෘ ගෘහපතියාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. ගෘහපතිය, ඔබට ලාභයක් විය. ඔබ යහපත් දැකීමක් ලබන ලදී. තොපගේ යම්බඳු නකුල මාතෘ ගෘහපතිනියක් ඇද්ද, ඇය අනුකම්පා ඇත්තීය. වැඩ කැමැත්තීය. අවවාද දෙන්නීය. අනුශාසනා කරන්නීය. ගෘහපතිය, යම්බඳුවූ මාගේ ගිහිවූ සුදු වස්ත්‍ර හඳින්නාවූ, අභ්‍යන්තර චිත්ත සමථය ඇත්තාවූ, ශ්‍රාවිකාවෝ වෙද්ද, ඔවුනතුරෙන් ඇය එක්තරා ශ්‍රාවිකාවකි. ගෘහපතිය, ගිහිවූ සුදු වස්ත්‍ර හඳින්නාවූ, මේ ශාසනයෙහි බැසගත්තාවූ, සැනසීම් ඇත්තාවූ, තරණය කළ විචිකිච්ඡාව ඇත්තාවූ, වෙන්වූ සැක ඇත්තාවූ, විශාරදත්‍වය ඇත්තාවූ, උසස් ගුණ විශෙෂයන් ඇත්තාවූ, යම්තාක් ශ්‍රාවිකාවෝ වෙද්ද, නකුල මාතෘ ගාහපතිනිය ඔවුනතුරෙන් එක්තරා ශ්‍රාවිකාවකි. ගෘහපතිය, ඔබට ලාභයක් විය. ඔබ යහපත් දැකීමක් ලබන ලදී. තොපගේ යම්බඳු නකුල මාතෘ ගෘහපතිනියක් ඇද්ද, ඇය අනුකම්පා ඇත්තීය. වැඩ කැමැත්තීය. අවවාද දෙන්නීය. අනුශාසනා කරන්නීය.’’