අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

1. පළමුවෙනි පණ්ණාසකය

5. ධම්මික වර්‍ගය

2. මගසාල සූත්‍රය

’’ඉක්බිති ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා, පාත්‍ර සිවුරු රැගෙන, මිගශාලා නම් උපාසිකාවගේ නිවාසය යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියහ. පැමිණ, පැණවූ අස්නෙහි වැඩහුන්හ. ඉක්බිති මිගශාලා උපාසිකා තොමෝ ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියාය. පැමිණ, ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ වැඳ, එකත්පසෙක සිටියාය. එසේ සිටියාවූ මිගශාලා උපාසිකා තොමෝ ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය සැළකළාය.

’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස. යම්සේ වනාහි බ්‍රහ්මචාරීද, අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සම සම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්‍මයක් කෙසේ කෙසේ නම් දේශනා කරණ ලද්දේද? ස්වාමීනි, පුරාණ නම්වූ මාගේ පියා, ග්‍රාම්‍ය ධර්මයක්වූ මෛථුන සේවනයෙන් බොහෝ ඈත්වූ, බඹසර ඇත්තෙක් විය. හෙතෙම කාලක්‍රියා කළේ, සකෘදාගාමී කෙනෙක්ව තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. ස්වාමීනි, මට ප්‍රියවූ පිය පරම්පරාවෙන් පැවතෙන ගරුකටයුතු ඉසිදත්ත තෙමේ, ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවූ, අබ්‍රහ්මචාරී කෙනෙක් විය. හෙතෙමේද කාලක්‍රියා කළේ, සකෘදාගාමීව තුෂිත දෙව්ලොව උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස. යම්සේ වනාහි බ්‍රහ්මචාරීද, අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සම සම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්‍මයක් කෙසේ කෙසේ නම් දේශනා කරණ ලද්දේද?

’’සොහොයුරිය, මෙසේම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දේද?’’ ඉක්බිති ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ මිගශාලා උපාසිකාවගේ නිවාසයෙන් පිණ්ඩපාතය රැගෙන අස්නෙන් නැගිට වැඩියහ.

ඉක්බිති ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ පිණ්ඩපාතයෙන් වැළකුණේ, සවස් කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද, එතැන්හි පැමිණියහ. එකත්පසෙක හුන්නාවූ ආයුෂමත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැළ කළහ.

’’ස්වාමීනි, මම පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍ර සිවුරු රැගෙන මිගශාලා උපාසිකාවගේ නිවාසය යම් තැනකද, එතැන්හි පැමිණියෙමි. පැමිණ, පැණවූ අස්නෙහි හිඳගතිමි.. ස්වාමීනි, ඉක්බිති මිගශාලා උපාසිකා තොමෝ මා යම් තැනකද, එතැන්හි පැමිණියාය. පැමිණ, මා වැඳ, එකත්පසෙක සිටියාය. එකත්පසෙක සිටියාවූ මිගශාලා උපාසිකා තොමෝ මට මෙය සැළකළාය. ’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස. යම්සේ වනාහි බ්‍රහ්මචාරීද, අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සම සම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්‍මයක් කෙසේ කෙසේ නම් දේශනා කරණ ලද්දේද? ස්වාමීනි, පුරාණ නම්වූ මාගේ පියා, ග්‍රාම්‍ය ධර්මයක්වූ මෛථුන සේවනයෙන් බොහෝ ඈත්වූ, බඹසර ඇත්තෙක් විය. හෙතෙම කාලක්‍රියා කළේ, සකෘදාගාමී කෙනෙක්ව තුෂිත දිව්‍ය ලෝකයෙහි උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. ස්වාමීනි, මට ප්‍රියවූ පිය පරම්පරාවෙන් පැවතෙන ගරුකටයුතු ඉසිදත්ත තෙමේ, ස්වකීය භාර්‍ය්‍යාවගෙන් සතුටුවූ, අබ්‍රහ්මචාරී කෙනෙක් විය. හෙතෙමේද කාලක්‍රියා කළේ, සකෘදාගාමීව තුෂිත දෙව්ලොව උපන්නේයයි භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලදී. ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස. යම්සේ වනාහි බ්‍රහ්මචාරීද, අබ්‍රහ්මචාරීද යන දෙදෙනා පරලොව සම සම ගති ඇතිවන්නාහු යයි භාග්‍යවතුන් වහන්සේ විසින් වෙනස්වූ ධර්‍මයක් කෙසේ කෙසේ නම් දේශනා කරණ ලද්දේද?’’ ස්වාමීනි, මෙසේ කී කල්හි මම මිගශාලා උපාසිකාවට මෙසේ කීමි. ’’සොහොයුරිය, මෙසේම භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරණ ලද්දේද?’’ යනුවෙනි.

’’ආනන්‍දය, පුරුෂ පුද්ගලයන් තෝරා කීමේ නුවණෙහි මිගශාලා උපාසිකාව මෝඩය. අව්‍යක්තය. ලාමක ප්‍රඥා ඇත්තීය. ආනන්‍දය, ලෝකයෙහි මේ පුද්ගලයෝ සදෙනෙක් වෙති. කවර සදෙනෙක්ද? ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙක් හික්මුනේ. යහපත් වාසය ඇත්තේ, සබ්‍රහ්මචාරීන් හා එකතුව වාසයෙන් සතුටුවෙයි. හෙතෙම ඇසීමෙන්ද කටයුතු දේ නොකළේ වෙයි. බහුශ්‍රුත භාවයෙන්ද නොකළේ වෙයි. දෘෂ්ටියෙන්ද නොකළේ වෙයි. තැන්පත්වූ විමුක්තිය නොලබයි. හෙතෙම කායයාගේ බිඳී මෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස් බව පිණිස නොපැමිණෙයි. හානගාමී වෙයි. විශෙෂගාමී නොවේ. ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් කෙනෙක් හික්මුණේ, යහපත් වාසය ඇත්තේ සබ්‍රහ්මචාරීන් හා එකතුව විසීමෙන් සතුටුවෙයි. හෙතෙම ශ්‍රවණයෙන්ද කටයුතු දේ කළේ වෙයි. බහුශ්‍රුත භාවයෙන්ද කළේ වෙයි. දෘෂ්ටියෙන්ද අවබෝධ කළේ වෙයි. තැන්පත්වූ විමුක්තිය ලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු උසස් බව පිණිස යෙදෙයි. පිරිහීම පිණිස නොවේ. විශෙෂගාමී වෙයි. හානභාගී නොවේ. ආනන්‍දය, මෙහි නියම ප්‍රමාණය කළේය. මොහුහටද ඒ ධර්මයෝමය. අන්‍යයාටද ඒ ධර්මයෝමය.

’’කුමක් හෙයින් එක් අයෙක් හීන වූයේද, එක් අයෙක් උසස් වූයේද, ආනන්‍දය, මෙය ඔවුන්ට දිගු කලක් අහිත පිණිස, දුක් පිණිස පවතියි. ආනන්‍දය, මෙහි යම් ඒ පුද්ගලයෙක් යහපත් හික්මීම් ඇත්තේ, සැපවත් එකතුවීම් ඇත්තේ, සබ්‍රහ්මචාරීන් හා එකතුව විසීමෙන් සතුටුවෙයි. හෙතෙම ඇසීමෙන්ද කළ යුතු දේ කළේ වෙයි. තැන්පත්වූ විමුක්තියද ලබයි. ආනන්‍දය, මේ පුද්ගලයා මුලින් කී පුද්ගලයාට වඩා උසස් වූයෙද, ප්‍රණීතතර වූයේද වෙයි. එයට හේතු කවරේද? ආනන්‍දය, මේ පුද්ගලයා ධර්‍මය නමැති කණ ඇතිකර ගනියි. මේ පුද්ගලයා තථාගතයන් වහන්සේ හැර කවරෙක් දැන ගන්නේද? ආනන්‍දය, එහෙයින් පුද්ගලයන් ප්‍රමාණ නොකරන්න. පුද්ගලයන් කෙරෙහි ප්‍රමාණය නොගන්න. මේ ලෝකයෙහි පුද්ගලයන් ප්‍රමාණයට වඩා ගන්නා පීඩාවට පැමිණේ. ආනන්‍දය, මම පුද්ගලයන් ප්‍රමාණ කරන්නෙමි. මා වැනි අන් කෙනෙක් හෝ ප්‍රමාණ කරන්නේය.

’’ ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රොධය හා මානය පිහිටියාහු වෙද්ද, කලින් කල ඔහුට ලෝභ ධර්‍මයෝ උපදිත්. ඔහු ඇසීමෙන්ද කටයුතු දේ නොකළේ වෙයි. බහුශ්‍රුත භාවයෙන්ද නොකළේ වෙයි. දෘෂ්ටියෙන්ද අවබෝධ නොකළේ වෙයි. තැන්පත් විමුක්තියද නොලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස් බවට නොපැමිණෙයි. ’’හානගාමී වෙයි. විශෙෂගාමී නොවේ.’’

’’ ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රොධය හා මානය පිහිටියාහු වෙද්ද. කලින් කල ඔහුට ලෝභ ධර්‍මයෝ උපදිත්. ඔහු ඇසීමෙන්ද කළයුතු දේ කළේ වෙයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස්වීමට නොපැමිණෙයි. හානගාමී වෙයි. විශෙෂගාමී නොවෙයි.

’’ ආනන්‍දය, මේ ලොකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රොධය හා මානය පිහිටියාහු වෙද්ද. කලින් කල ඔහුට වචන ඉපදීමට උපකාර වන විතර්‍කයෝ උපදිත්. බහුශ්‍රුත භාවයෙන්ද නොකළේ වෙයි. දෘෂ්ටියෙන්ද අවබෝධ නොකළේ වෙයි. තැන්පත් විමුක්තියද නොලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස් බවට නොපැමිණෙයි. ’’හානගාමී වෙයි. විශෙෂගාමී නොවේ.’’

’’ ආනන්‍දය, මේ ලෝකයෙහි ඇතැම් පුද්ගලයෙකුට ක්‍රොධය හා මානය පිහිටියාහු වෙද්ද, කලින් කල ඔහුට වචන ඉපදීමට උපකාර වන විතර්‍කයෝ උපදිත්. ඔහු ඇසීමෙන්ද කළයුතු දේ කළේ වෙයි. බහුශ්‍රුත භාවයෙන්ද නොකළේ වෙයි. දෘෂ්ටියෙන්ද අවබෝධ නොකළේ වෙයි. තැන්පත් විමුක්තියද නොලබයි. හෙතෙම කායයාගේ බිඳීමෙන් මරණින් මතු පිරිහීමට පැමිණෙයි. උසස් බවට නොපැමිණෙයි. ’’හානගාමී වෙයි. විශෙෂගාමී නොවේ.’’ විශෙෂගාමී වෙයි. හානගාමී නොවේ. ආනන්‍දය, මෙහි නියම ප්‍රමාණය ප්‍රමාණ කළේය. මොහුහටද ඒ ධර්මයෝමය. අන්‍යයාටද ඒ ධර්මයෝමය. ආනන්‍දය, මෙහි යම් පුද්ගලයෙකුට ක්‍රොධය හා මානය උපන්නාහු වෙද්ද, කලින් කල ඔහුට වචන ඉපදීමට උපකාරවන විතර්‍කයෝ උපදිත්. ඔහු ඇසීමෙන්ද කළයුතු දේ කළේ වෙයි.

’’ආනන්‍දය, පුරුෂ පුද්ගලයන් තෝරා කීමේ නුවණෙහි මිගශාලා උපාසිකාව මෝඩය. අව්‍යක්තය. ලාමක ප්‍රඥා ඇත්තිය. ආනන්‍දය, මේ පුද්ගලයෝ සය දෙන ලෝකයෙහි විද්‍යමාන වෙත්. ආනන්‍දය, යම්බඳු ශීලයකින් පුරාණතෙමේ යුක්තවූයේ නම් එබඳු සීලයෙන් ඉසිදත්තතෙමේ යුක්ත නුවූයේය. මේ ලෝකයෙහි පුරාණතෙමේ ඉසිදත්තට වඩා ගතියෙන්ද වෙනස්ය. එබඳුවූ ප්‍රඥාවකින් පුරාණතෙමේ යුක්ත නොවූයේය. මේ ලෝකයෙහි ඉසිදත්ත තෙමේ පුරාණට වඩා ගතියෙන්ද වෙනස්ය. මහණෙනි, මෙසේ වනාහි මේ පුද්ගලයන් දෙදෙනා එක් අඞ්ගයකින් වෙනස්ය.’’