අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. මෙත්තා වර්‍ගය

4. ලාභකාම සූත්‍රය

’’ මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.

’’කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජුවූයේ වේද, සත්කාර ලාභයෙහි ගිජුවූයේ වේද, (ගර්හා ලැබීමට සුදුසුව සිටියේ නමුදු) අනුන් විසින් ගර්හා කරණු නොලැබේවායි වේද, කථා කළ යුතු කාලය නොදන්නේ වේද, (සිවු පසය පිළිගත යුතු) පමණ නොදන්නේ වේද, අපිරිසිදුවු කාය කර්‍මාදිය ඇත්තේ වේද, බොහෝකොට කථා කරන්නේ වේද, සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව බණන්නේ වේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට අප්‍රියද වෙයි, අමනාපද වෙයි, අගෞරවද වෙයි. නොසැලකිය යුතුද වෙයි.

’’ මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.

’’කිනම් කරුණු අටකින්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම සිවුපස ලාභයෙහි ගිජු නොවේද, සත්කාර ලාභයෙහි ගිජු නොවේද, ස්වකීය දොස් ඇසීමෙහි සතුටු වේද, කථා කිරීම් ආදියෙහි සුදුසු කාලය දනීද, සිවු පසයෙහි පමණ දන්නේ වේද, පිරිසිදුවු කාය කර්‍මාදිය ඇත්තේ වේද, දොඩමලු නොවේද, (වාචාල නොවේද), සබ්‍රම්සරුන්ට ආක්‍රොෂ පරිභව නොවන්නේ වේද, මහණෙනි, කරුණු අටකින් යුක්තවූ මහණතෙම සබ්‍රම්සරුන්ට ප්‍රියද වෙයි, මනාපද වෙයි, ගෞරවද වෙයි. සැලකිය යුතුද වෙයි.