අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

1. පඨම පණ්ණාසකය

1. මෙත්තා වර්‍ගය

5. සංඛිත්තලොකධම්ම සූත්‍රය

’’මහණෙනි, මේ අෂ්ට ලෝක ධර්‍මය තෙම ලෝකය ලුහු බඳියි. (ලෝකය අනුව පෙරළෙයි.) ලෝකයද අෂ්ට ලෝක ධර්මය ලුහුබඳියි. (අෂ්ට ලෝක ධර්මය අනුව පෙරෙළෙයි.)

’’ඒ ලොක ධර්ම අට කෙසේද? ලාභයද, අලාභයද, අයසද, (පරිවාර සම්පත්තියෙන් තොර වීමද) යසසද, (පරිවාර සම්පත් ලැබීමද) නින්දා ලැබිමද, ප්‍රශංසා ලැබිමද, සැප ලැබීමද, දුක් ලැබීමද, යන අටය.

ලාභයද, අලාභයද, අයසද, යසසද, නින්‍දාද, ප්‍රශංසාද, සැපද, දුකද යන මේ සත්ත්‍වයන් කෙරෙහි පවත්නාවූ ලෝක ධර්‍ම අට අනිත්‍යයහ. සදාකාලික නොවෙත්. විනාශවන ස්වභාවයෝ වෙත්.

යහපත් සිහියෙන් යුක්තවූ ප්‍රඥාවන්ත පුද්ගල තෙම මේ අෂ්ට ලෝක ධර්‍ම ස්වභාවයද දැන අනිත්‍ය ස්වභාව ධර්‍මය දකීද, ඔහුගේ සිත ඉෂ්ටාරමුණුවලින් නොකැළඹෙයි. අනිටු අරමුණුවලින් නොගැටෙයි. (ක්‍රෝධ නූපදී.) ඒ ඉෂ්ටාරම්මණය අනුගමනය කිරීමෙන් (රැකගැනීමෙන්) හෝ එයට විරුද්‍ධවීමෙන් හෝ විනාශවනු ලබන ආත්මය සහගතවුවක් නැතැයි දැන කෙලෙස් රජසින් තොරවූ, නිස්සෝකීවූ (සෝක නැත්තාවූ) ඒ ආර්‍ය්‍ය පුද්ගල තෙම නිර්‍වාණ පදය යහපත් ප්‍රඥාවෙන් අවබෝධ කොට භවයාගේ කෙළවරට පැමිණෙන්නේයි.’’