අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
1. පඨම පණ්ණාසකය
5. උපොසථ වර්‍ගය
4. වාසෙඨුපොසත සූත්‍රය
’එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ විශාලා නුවර මහා වනයේ කූටාගාර ශාලාවෙහි වෙසෙන සේක. ඉක්බිත්තෙන් වනාහි වාසෙට්ඨ උපාසක තුමා භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් වාසෙට්ඨ උපාසක තුමාට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළ සේක.
’’වාසෙට්ඨය, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත්ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ. නින්දා නොකරණ ලද්දාහු දෙව් ලොවට යත්.’’ මෙසේ වදාළ කල්හි වාසෙට්ඨ උපාසක තෙම භාග්‍යවතුන් වහන්සේට මෙය සැළකෙළේය.
’’ස්වාමීනි, මට නෑයෝ, සහලේ නෑයෝ, ප්‍රියයෝ, වෙත්. අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නේ නම් මට ප්‍රියවූ නෑ සහ ලේ නෑයන්ට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
’’ස්වාමීනි, සියලුම ක්‍ෂත්‍රීහු අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම ක්‍ෂත්‍රියයනට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
’’ස්වාමීනි, සියලුම බමුණෝ අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම බමුණන්ට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
’’ස්වාමීනි, සියලුම වෙළෙන්දෝ අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම වෙළෙඳුන්ට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
’’ස්වාමීනි, සියලුම ගොවීහු අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම ගොවියන්ට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
’’වාසෙට්ඨය, මෙය මෙසේය. වාසෙට්ඨය, සියලුම ක්‍ෂත්‍රීහු අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම ක්‍ෂත්‍රියයනට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. වාසෙට්ඨය, සියලුම බමුණෝ අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම බමුණන්ට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. වාසෙට්ඨය, සියලුම වෙළෙන්දෝ අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම වෙළෙඳුන්ට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය. වාසෙට්ඨය, සියලුම ගොවීහු අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නාහු නම්, සියලුම ගොවියන්ට දීර්ඝ කාලයක් හිත පිණිස, සැප පිණිස වන්නේය.
’’ වාසෙට්ඨය, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත ප්‍රජාව වූ ලෝකය, අංග අටින් යුත් පෙහෙවස් සමාදන් වන්නේ නම්, මරුන් සහිත, බඹුන් සහිත, මහණ බමුණන් සහිත, දෙව් මිනිසුන් සහිත ප්‍රජාව වූ ලෝකයාට දීර්ඝ කාලයක් හිත පිණිස, සුව පිණිස වන්නේය. වාසෙට්ඨය, මේ මහා ශාලයෝත් අංග අටින් යුත් පෙහෙවස සමාදන් වන්නාහු නම් ඉදින් සිතන්නාහු නමුදු, හිත පිණිස, සැප පිණිස වන්නේය. මනුෂ්‍ය වූවකුට කවර කථාද?’’