අඞ්ගුත්තරනිකායො
අඨක නිපාතය
2. දුතිය පණ්ණාසකය
(10) 5. සාමඤ්ඤ වර්‍ගය
91–117.
බොජඣාය, සිරිමාය, පදුමාය, සුධනාය, මනුජාය, උත්තරාය, මුත්තාය, ඛෙමාය, සෝමාය, සොතය, රුචිය, චුන්‍දිය, බිම්බිය, සුමනාය, මල්ලිකාය, තිස්සාය, තිස්සාවගේ මව්ය, සොණාය, සොණාවගේ මව්ය, කාණාය, කාණාවගේ මව්ය, උත්තරා නම් නන්‍ද මාතාවය, විශාඛා නම් මිගාර මාතාවය, ඛුජ්ජුත්තරා නම් උපාසිකාවය, සාමාවතී නම් උපාසිකාවය, සුප්පවාසා නම් කෝලිය දූය, සුප්පියා නම් උපාසිකාවය, නකුල මාතාව නම් ගෘහපති භාර්යාය යන
(ඉහත දක්වන නාම අනුව මෙහි පහත දක්වන සූත්‍රය මෙන් සකස් කළ යුතුය.)
’’එක් සමයෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර අනාථ පිණ්ඩික සිටාණන් විසින් කරවන ලද ජෙතවනාරාමයෙහි වසන සේක. ඉක්බිත්තෙන් වනාහි බොජ්ඣා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේ කරා පැමිණියාය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නාය. එකත්පසෙක හුන් බොජ්ඣා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
’’බොජ්ඣාවෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵල වේ. මහත් ආනිශංස වේ. මහත් ආලෝක ඇත්තේ වේ. මහත් පැතිරීම් ඇත්තේ වේ. බොජ්ඣාව, මෙහි ආර්ය ශ්‍රාවක තෙමේ මෙසේ සලකයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ සතුන් නැසීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්වී, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇතිව, දයාවට පැමිණ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇතිව වසත්. ’’මමත් අද මේ රැය, මේ දවස, සතුන් මැරීම හැර දමා, සතුන් මැරීමෙන් වෙන්ව, බහා තැබූ දඬු ඇතිව, බහා තැබූ ආයුධ ඇතිව, ලජ්ජා ඇත්තේ, දයාවට පැමිණියේ, සියලු ප්‍රාණභූතයන්ට හිත අනුකම්පා ඇත්තේ වසමි.
’’මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය’’ යි මේ පළමුවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ අනුන් දුන් දෙය ගැනීමෙන් තොරව, දුන් දෙය ගන්නේ, දුන් දෙය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වෙසෙත්ද,
’’මමත් අද මේ රැය, මේ දවස, නුදුන් දෙය ගැන්ම හැර දමා නුදුන් දෙය ගැන්මෙන් වෙන්වූයේ, දුන් දෙය ගන්නේ දුන් දෙය බලාපොරොත්තුවන්නේ, ඉක්බිති මේ පිරිසිදුවූ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය’’ යි මේ දෙවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ කාම සේවනය (බ්‍රහ්මයා මෙන් නොහැසිරීම) හැර දමා බඹසර රකින්නේ (කාම සේවනය නොකරන්නේ) දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේද, ’මමත් අද මේ රැය, මේ දවාල, කාම සේවනය හැර, කාම සේවනයෙන් තොර බඹසර රකින්නේ, දුරුව හැසිරෙන්නේ, දෙදෙනෙකුගේ හැසිරීමවූ ගමුන්ගේ ක්‍රියාවෙහි නොඇලුණේ වෙමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේය’’ යි මේ තුන්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ බොරුකීම හැරදමා, බොරු කීමෙන් වෙන්වූයේ, ඇත්ත කියන්නේ, ඇත්තට බැඳී ඇත්තේ, ඇදහිය යුතුවූයේ, විශ්වාස කළ හැකි වූයේ, ලෝකයාට නොගැලපෙන කියුම් නැත්තේ වෙත්. මමද බොරුකීම හැර දමා, බොරු කීමෙන් වෙන්ව, සත්‍යය කියන්නේ, සත්‍යය බලාපොරොත්තු වන්නේ, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. ’’මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස්ද සමාදන් වූයේ වන්නේය’’ යි මේ සතරවන අංගයෙන් යුක්තවූයේ වෙයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ රා මෙර මත් ද්‍රව්‍යයන්හි පමාව සිටීම හැර, රා මෙර මත් ද්‍රව්‍යවල ප්‍රමාදව සිටීමෙන් වෙන්වේද, මමත් අද මේ රැය, මේ දාවල, රා මෙර පානය හැර දමා, රා මෙර පානයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ පස්වන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ එකම බතක් වළඳන්නේ, විකාල (නොකල) කෑමෙන්රෑ වෙන්වූයේ, නොඇලුණේ වෙත්. මමද මේ රැය, මේ දාවල, විකාල භෝජනයෙන් වැලකෙන්නේ, විකාල භෝජනයෙන් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ හයවන අංගයෙන්ද යුක්තවූයේ වෙයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ වෙයි. මමද අද මේ රැය, මේ දවස, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වැළකුණේ, නැටීම්, ගී කීම්, බෙර ගැසීම්, උසුළු විසුළු බැලීම්, මල්දම් සුවඳ විලවුන් දැරීම, පැළඳීම, සැරසීම යන කරුණු වලින් වෙන්ව ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ සත්වන අංගයෙන් යුක්තවූයේ වෙයි.
’’ජීවිතාන්තය තෙක් රහතුන් වහන්සේ උස් අසුන්, මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, මැස්සක හෝ, තණ ඇතිරියක හෝ, පැදුරෙහි නිදීම කරන්නේ වේද, ’මමද මේ රැය, මේ දවාල, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, වැලකෙන්නේ, උස් අසුන් මහ අසුන් හැර, උස් අසුන් මහ අසුන්වලින් වෙන්ව, ඉක්බිති මේ ආත්මයෙන් වසමි. මේ අංගයෙනුත් රහතුන් වහන්සේ අනුකරණය කරමි. මා විසින් පෙහෙවස් සමාදන්ව විසුයේද වන්නේයයි මේ අටවැනි අංගයෙන්ද යුක්තවූයේ වෙයි. මහණෙනි, අංග අටකින් යුත් පෙහෙවස් සමාදන්වූයේ මහත් ඵලය. මහානිශංසය. මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.
’’බොජ්ඣාව, අංග අටකින් යුත් පෙහෙවස සමාදන්වූයේ, මහත් ඵලය, මහානිශංසය, මහත් ආලෝක ඇත්තේය. මහත් පැතිරීම් ඇත්තේය.
’’කොපමණ මහත් ඵලද, කොපමණ මහත් ආනිශංසද, කොපමණ මහත් ආලෝක ඇත්තේද, කොපමණ මහත් පැතිරීම් ඇත්තේද?
’’ බොජ්ඣාව, යම්සේ යමෙක් මේ බොහෝ සත් රුවන් ඇති සොළොස් මහා ජනපදයන්හි ඉසුරු බව, අධිපතිබවවූ රාජ්‍යය කරන්නේද, කෙබඳු සොලොස් මහා ජනපදයන්ගේද යත්? අංග - මගධ - කාශි - කොශල - වජ්ජි - මල්‍ය - වෙදි - වංග - කුරු - පඤ්චාල - මත්ස්‍ය - ශුරසෙන - අශ්වක - අවන්ති - ගන්‍ධාර - කාම්බොජ යන මොවුන්ගේය.’’
’’මෙය අංග අටකින් යුත් පෙහෙවස්හි සොළොස්වන කලාවටත් නොඅගී. එයට හේතු කවරේද? බොජ්ඣාව, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය.
’’ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් පණස් අවුරුද්දක් වේද, ඒ සිව් මහා රජයේ දෙවියන්ට මේ එක්රෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයයි. ඒ මාසයෙන් දොලොස් මසක් අවුරුද්දය. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ පන්සියයක් සිවු මහ රජයේ දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි.
’’ බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු සතර මහා රජයේ දෙවියන් හා සම බවට පැමිණෙයි යන කරුණු විද්‍යමාන වේ.
’’ බොජ්ඣාව, දිව්‍ය සුඛය හා සසඳන කල මනුෂ්‍ය රාජ්‍යය දිළිඳුය. මේ සඳහා කියන ලදී. බොජ්ඣාව, මිනිසුන්ගේ යම් වර්‍ෂ සියයක් තව්තිසාවේ දෙවියනට මේ එකරෑ දවාලක් වේද, ඒ රැයින්රෑ තිහක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දහසක් තව්තිසාවේ දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තව්තිසා දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
’’ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු දෙසියයක් යාම දෙවියන්ට මේ එක්රෑ දාවලක් වේද, ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ දෙදහසක් යාම දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු යාම දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
’’ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු හාරසියයක් වේද, තුෂිත දෙවියන්ට මේ එක්රෑ දාවලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ හාර දහසක් තුෂිත දෙවියන්ගේ ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු තුෂිත දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
’’ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු අටසියයක් වේද, නිර්මාණ රතී දෙවියන්ට මේ එකරෑ දවාලෙකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මාසයෙන් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් දිව්‍ය වර්ෂ අටදහසක් නිර්මාණ රතී දෙවියන්ට ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු නිර්මණෙ රතී දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
’’ බොජ්ඣාව, මිනිසුන්ගේ යම් අවුරුදු දහසය දහසක්, පරනිර්මිත වසවර්ති දෙවියන්ට මේ එකරෑ දවාලකි. ඒ රැයින් තිස් රැයක් මාසයෙකි. ඒ මසින් දොළොස් මසක් අවුරුද්දෙකි. ඒ අවුරුද්දෙන් වර්ෂ දහසය දහසක් පරනිර්මිත වසවර්ති දෙවියන් ආයුෂ ප්‍රමාණයයි. බොජ්ඣාව, මෙහි ඇතැම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අංග අටකින් යුත් යම් පෙහෙවසක් සමාදන්ව වැස කය බිඳී මරණින් මතු පරනිර්මිත වසවර්ති දෙවියන් හා සමානත්‍වයට පැමිණෙයි යන මේ කරුණ විද්‍යමාන වේ.
(1) ’’පණ නොනසව. අනුන් දෙය නොගනුව. බොරු නොකියව, මත්පැන් බොන්නෙක් නොවව. දෙදෙනෙකුගේ හැසිරිමවූ අබ්‍රහ්මවර්යාවෙන් වෙන් වෙන්න. රැය නොකල්හි කෑම නොකව.
(2) ’’මල්දම් නොදරව. සුවඳ නොගනුව. පොළොවේ මෙන් මැස්සෙහිද, තණ ඇතිරියේද නිදව. මෙය දුක් කෙළවරට ගිය බුදුන් පැවසූ අංග අටින් යුත් පෙහෙවසයයි කියත්.
(3) ’’ඉරද, සඳද දෙදෙනා මනාව පෙනෙමින් එළිය පතුරුවත්ද, අහසේ හැසිරෙන, අඳුරු දුරලන, දිගුන් බබුළුවන ඔවුහු වනාහි අහසේ දිලිසෙත්.
(4) ’’මේ අතර මුතුය, මැණික්ය, උසස් වෛදුර්යය, රත්රන්ද, එසේම රන්ද, යමක් ජාත රූපය හටකය කියාද, එයද සියලු චන්‍ද්‍ර ප්‍රභාවද, ඒ තාරකා සමූහයද, අංග අටින් යුත් පෙහෙවීමට දහසයින් අඩකුත් සමාන නොවේ.
(5) ’’එබැවින් ස්ත්‍රීහුද, පුරුෂයෝද, සිල්වත්වූවාහු, අංග අටින් යුත් පෙහෙවීම සමාදන්ව වසත්වා. සැප විපාක ඇති පින් කර නින්‍දාවට නොගියාහු ස්වර්‍ග භූමියට එළඹෙත්.’’
සාමඤ්ඤවග්ගො පඤ්චමො.
දුතියපණ්ණාසකං සමත්තං.