අඞ්ගුත්තරනිකායො

අඨක නිපාතය

2. දුතිය පණ්ණාසකය

(11). රාගාදි පෙයියාලය

118–627.

’’මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද? නිවැරැදි දැක්ම, නිවැරැදි වචනය, නිවැරැදි කල්පනාව, නිවැරැදි වෑයම, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ආජීවය, නිවැරැදි සිහිය, නිවැරැදි සිත එකඟකම යනුය.

මහණෙනි, රාගයාගේ දැන ගැනීම පිණිස, මේ කරුණු අට වැඩිය යුතුය. කවර අටක්ද?

’’ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

’’ඇතුළත රූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

’’ඇතුළත අරූප යන හැඟීම ඇත්තේ පිටත කුඩාවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත අප්‍රමාණවූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත නිල්වූ, නිල්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත රන්වූ, රන්වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත ලේ වූ, ලේ වන්වූ, මනා නොමනා පැහැ ඇති රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය.

’’ඇතුළත අරූපය යන හැඟීම ඇත්තේ පිටත සුදුවූ සුදුවන්වූ, සුදට බඳු ආකාර ඇත්තාවූ, සුදට බඳු වැටහීම් ඇත්තාවු, රූප බලාද, ඒවා මැඩ දනිමියි, බලමියි යන මේ හැඟීම ඇත්තේය. මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය.

’’ මහණෙනි, රාගයේ දැන ගැනීම පිණිස කරුණු අටක් වැඩිය යුතුය. කවර අටක්ද? රූප ඇත්තේ, රූපයන් බලාද, ඇතුලත අරූපය යන හැඟීම ඇත්තේ, පිටත රූප බලාද, ශුභයයිම ඇලුණේ වේද, හැම අතින් රූපය යන හැඟීම ඉක්මවා, ද්වේෂ හැඟීම යටපත් කොට, වෙනස්කම් පිළිබඳ හැඟීම් නොසිතා, අහස කෙළවරක් නැත්තේයයි ආකාසානඤ්චායතන (අහසේ තැන) නම් පළමුවන අරූප ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකාසානඤ්චායතනය ඉක්මවා සිත කෙළවරක් නැත්තේයයි විඤ්ඤාණඤ්චායතන (සිතේ තැන) නම් දෙවන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා කිසිත් නැතැයි ආකිඤ්චඤ්ඤායතන (කිසිත් නැති තැන) නම් තුන්වන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතන (හැඟීම නොවේය, නොහැඟීමක්ද නැත) යන සතරවන ධ්‍යානයට පැමිණ වෙසේද, හැම අතින් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවෙදයිතනිරෝධ (හැඟීම් - විඳීම් නැති කළ) සමවතට පැමිණ වෙසේද,

’’මහණෙනි, රාගය දැනගැනීම පිණිස මේ කරුණු අට වැඩිය යුතුය.

මහණෙනි, රාගය පිළිබඳ (තීන්දු කොට) දැනීම පිණිස, සම්පූර්‍ණයෙන් ගෙවා දැමීමට, නැති කිරීමට, පහ කිරීමට, වැය කිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරු කිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.

(සාමඤ්ඤ වර්‍ගයේ රාගය වෙනුවට මෙහි පහත දැක්වෙන ද්වේෂ යනාදිය යොදනු.)

’’ද්වේෂය, මොහය, ක්‍රොධය, බද්ධ වෛරය, ගුණමකු බව, දොස් කීම, ඊර්‍ෂ්‍යාව, මසුරුකම, මායාව, සට බව, ආඩම්බරය, එකටෙක කිරීම, මානය, අතිමානය, මදය, පමාව, --- මනාව දැනීමට, තීන්දුකොට දැනීමට, සම්පූර්‍ණයෙන් ගෙවීමට, නැතිකිරීමට, පහකිරීමට, වැයකිරීමට, නොඇල්මට, නොපැවැත්මට, හැර දැමීමට, දුරුකිරීමට මේ කරුණු අට වැඩිය යුතුය.’’

රාගපෙය්‍යාලං නිට්ඨිතං.

අටවන නිපාතය නිමි.