ඛුද්දක නිකාය
ඉතිවුත්තකය
3. තික නිපාතය
1. මාරධෙය්‍ය වර්ගය
10. මාරධෙය්‍ය සූත්‍රය
“මහණෙනි, කරුණු තුනකින් යුත් මහණතෙමේ මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළයි. කවර කරුණු තුනකින්ද යත්?
“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙමේ අශෛක්ෂවූ (මතුමත්තෙහි නොහික්මිය යුතු බැවින්) අශෛක්ෂයනට අයත්වූ ශීලරාශියෙන් යුක්තවූයේ වේද, අශෛක්ෂ සමාධි රාශියෙන් යුක්තවූයේ වේද අශෛක්ෂ ප්‍රඥා රාශියෙන්ද යුක්තවූයේ වේද, මහණෙනි, මේ කරුණු තුනෙන් වනාහි යුක්තවූ මහණතෙමේ මාරයාට අධිපති තැන මැඩ හිරුසේ බබළායයි.”
භාග්‍යවතුන් වහන්සේ මේ අර්ථය වදාළසේක. එහි මේ අර්ථය මෙසේ කියනු ලැබේ.
“යම් රහත් පුද්ගලයෙකු විසින් ශීලයද සමාධියද ප්‍රඥාවද යන මේ අශෛක්ෂ ධර්මයෝ නොකොට වඩන ලද්දාහුද (හෙතෙම) මාරයාට යටත් පෙදෙස ඉක්මවා හිරුමෙන් බබළා යයි”
මාරධෙය්‍ය වර්ගය නිමි.