සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
2. ආහාර වර්ගය
1. ආහාර සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
මහණෙනි, උපන් සත්වයන්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින සත්වයින්ට උපකාරය පිණිසද පවත්නාවූ ආහාරයෝ (හේතු) සතරක් වෙත්. ඒ ආහාර සතර කවරහුද? මහත්වූ හෝ ඉතා කුඩාවූ හෝ කබලිංකාරාහරය (පිඬුකොට වළඳන ආහාරය) ද දෙවැනිවූ එස්සාහාරයද තුන්වැනිවූ මනොසංචෙතනාහාරයද සතරවැනිවූ විඤ්ඤාණාහාරයද යන මොහුයි. මහණෙනි, උපන් සත්වයින්ගේ පැවැත්ම පිණිසද, උපදිමින් සිටින්නාවූ සත්වයන්ට උපකාරය පිණිසද මේ සතර ආහාරයෝ පවතිත්.
“මහණෙනි මේ සතර ආහාරයෝ වනාහි කුමක් මුල්කොට ඇත්තාහුද? කුමක් හේතුකොට ඇත්තාහුද? කුමක් උප්පත්තිකොට ඇත්තාහුද? කුමක් ප්‍රභවකොට ඇත්තාහුද? මේ සතර ආහාරයෝ තණ්හාව මුල්කොට ඇත්තාහ. තණ්හාව හේතුකොට ඇත්තාහ. තණ්හාව උප්පත්තිකොට ඇත්තාහ. තණ්හාව ප්‍රභවකොට ඇත්තාහ.
“මහණෙනි, මේ තණ්හාව වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? තණ්හාව වේදනාව මුල්කොට ඇත්තේය. වේදනාව හේතුකොට ඇත්තේය. වේදනාව උප්පත්තිකොට ඇත්තේය. වේදනාව ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ වේදනාව වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? වේදනාව ස්පර්ශය මුල්කොට ඇත්තේය. ස්පර්ශය හේතුකොට ඇත්තේය. ස්පර්ශය උප්පත්තිකොට ඇත්තේය. ස්පර්ශය ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ ස්පර්ශය කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? ස්පර්ශය සළායතනයන් මුල්කොට ඇත්තේය. සළායතන හේතුකොට ඇත්තේය. සළායතන උප්පත්තිකොට ඇත්තේය. සළායතන ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ සළායතන වනාහි කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සළායතනයන් නාමරූපය මුල්කොට ඇත්තේය. නාමරූපය හේතුකොට ඇත්තේය. නාමරූපය උප්පත්තිකොට ඇත්තේය. නාමරූපය ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි මේ නාමරූපය වනාහි කුමක් හේතු කොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? නාමරූපය විඤ්ඤාණය මුල්කොට ඇත්තේය. විඤ්ඤාණය හේතුකොට ඇත්තේය. විඤ්ඤාණය උප්පත්තිකොට ඇත්තේය විඤ්ඤාණය ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ විඤ්ඤාණය වනාහි කුමක් මුල් කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්තිකොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? විඤ්ඤාණය සංස්කාර මුල්කොට ඇත්තේය. සංස්කාර හේතුකොට ඇත්තේය. සංස්කාර උප්පත්තිකොට ඇත්තේය. සංස්කාර ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මේ සංස්කාර වනාහි කුමක් මුල්කොට ඇත්තේද? කුමක් හේතුකොට ඇත්තේද? කුමක් උප්පත්ති කොට ඇත්තේද? කුමක් ප්‍රභවකොට ඇත්තේද? සංස්කාර අවිද්‍යාව මුල්කොට ඇත්තේය. අවිද්‍යාව හේතුකොට ඇත්තේය. අවිද්‍යාව උප්පත්තිකොට ඇත්තේය. අවිද්‍යාව ප්‍රභවකොට ඇත්තේය.
“මහණෙනි, මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවේ. නාමරූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා, මරණද, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ තනිකර සියලු දුක් සමූහයාගේ ඇතිවීම වෙයි.
“අවිද්‍යාව මුළුමනින් නැතිවීමෙන් සංස්කාරයන්ගේ නැතිවීම වේ. සංස්කාරයන් මුළුමනින් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නැමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උප්පත්තිය) නැතිවෙයි. ජාතිය (උප්පත්තිය) නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ තනිකර සියලු දුක් සමූහයාගේ නැතිවීම වෙයි.
(පළමුවන ආහාර සූත්‍රය නිමි.)