සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
1. බුද්ධ වර්ගය
10. ගෞතම සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, බුද්ධත්වයට පෙරම බුදු නොවූ, බෝසත්වූම මට මේ සිත පහළ විය. මේ සත්ත්ව ලෝකයා (මේ ලෝකයට) දුකසේ පැමිණියේ, උපදී ද, ජරාවට පත් වේද, මැරේද, චුතවේද, පිළිසිඳ ගනීද, එතකුදු වුවත්, ජරාමරණයෙන් යුත් මේ දුක නැතිකිරීම නොදනී. කවර කලක වනාහි ජරා මරණයෙන් මේ දුක නැතිකිරීම දන්නේද?’ කියායි. මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි ජරාව සහ මරණය ඇති වේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?’ කියායි.
“මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ඉපදීම් ඇතිකල්හි වනාහි ජරාව සහ මරණය ඇතිවෙයි ඉපදීම නිසා ජරාව සහ මරණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ඉපදීම ඇතිවේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘භවය ඇති කල්හි වනාහි ඉපදීම (ජාතිය) ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් උපාදානය ඇතිකල්හි වනාහි භවය ඇතිවෙයි. ‘උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි උපාදානය ඇතිවේද, ‘කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට, ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘තණ්හාව ඇතිකල්හි වනාහි උපාදානය’ ඇතිවෙයි. තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද, ‘කුමක් නිසා තණ්හාව ඇති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවෙයි. වේදනාව නිසා තණ්හාව ඇති වෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද?, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ස්පර්ශය ඇතිකල්හි වනාහි ‘වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘සළායතන ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි. ‘සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. කුමක් ඇති කල්හි වනාහි ‘සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘නාමරූප ඇති කල්හි වනාහි සළායතන’ ඇති වෙයි. ‘නාමරූප නිසා සළායතන ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූප ඇතිවේද, කුමක් නිසා නාමරූප ඇති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි වනාහි නාමරූප ඇතිවෙයි. විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?’ ‘කුමක් නිසා විඤ්ඤාණය ඇති වෙයිද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇති වෙයි, සංස්කාර නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි සංස්කාරයෝ ඇති වෙත්ද, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවෙත්ද?’ කියායි. “මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවෙත්. අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙත් යයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, මෙසේ මෙය අවිද්‍යාව නිසා සංස්කාරයෝ ඇතිවෙති. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරාමරණ, ශෝකවීම්, හැඬීම්, දුක්වීම්, දොම්නස්වීම් සහ වැලපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ. මහණෙනි, මට වනාහි සමුදය සමුදය යයි පෙර නොඇසූ විරූ ධර්මය විෂයයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරා මරණය නැති වේද, කවරක් නැතිවීමෙන් ජරා මරණය නැති වේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරා මරණය ඇති නොවේ. ඉපදීම නැතිකිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැති වේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් ‘භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවෙයි. භවය නැති කිරීමෙන් ඉපදීම නැති වේයයි, (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. කුමක් නැතිකල්හි වනාහි භවය නැතිවේද, කුමක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් උපදානය නැති කල්හි වනාහි භවය නැතිවෙයි. උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය (තදින් අල්ලාගැනීම) නැති වේද, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය නැතිවෙයි. තණ්හාව නැති කිරීමෙන් උපාදනය නැතිවේයයි (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් වේදනාව නැති කල්හි වනාහි තණ්හාව නැතිවෙයි. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි (නුවණින්) අවබෝධවිය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව නැතිවෙයි. ස්පර්ශය නැතිකිරීමෙන් වේදනාව නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය නැතිවෙයි. සළායතනයන් නැතිකිරීමෙන් ස්පර්ශය නැතිවේයයි, (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි සළායතන (ෂට් ඉන්ද්‍රියයන්) නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතනයන් නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාම රූපයන් නැති කල්හි වනාහි සළායතනයන් නැතිවෙයි නාමරූපයන් නැතිකිරීමෙන් සළායතනයන් නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි නාමරූපයන් නැතිවේද, කවරක් නැතිවීමෙන් නාමරූපයන් නැතිවේද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූප නැතිවෙයි. විඤ්ඤාණය නැතිකිරීමෙන් නාමරූප නැතිවේයයි, (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැතිවේද, කවරක් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේද?’ කියායි. මහණෙනි ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය නැතිවෙයි. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඒ මට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාරයෝ ඇති නොවෙත්ද, කවරක් නැතිවීමෙන් සංස්කාරයෝ නැතිවෙත්ද?’ කියායි. මහණෙනි, ඒ මට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාරයෝ ඇති නොවෙත්. ‘අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයන් නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාරයන් නැතිවේ. සංස්කාරයන් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැතිවෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය (උත්පත්තිය) නැතිවෙයි. ජාතිය (උත්පත්තිය) නැතිවීමෙන් ජරාමරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැති වෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ නැතිවීම වෙයි. මහණෙනි, මට වනාහි නිරෝධය නිරෝධයයි (නැතිවීම නැතිවීමයයි) පෙර නොඇසූ විරූ ධර්මය විෂයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළ විය. ප්‍රඥාව පහළ විය. විද්‍යාව පහළ විය. ආලෝකය පහළ විය.
(දසවන ගෞතම සූත්‍රය නිමි)
පළමුවන බුද්ධ වර්ගය නිමි.
පටිච්චසමුප්පාද සූත්‍රය, විභඩ්ග සූත්‍රය, ප්‍රතිපදා සූත්‍රය, විපස්සී සූත්‍රය, සිඛී සූත්‍රය, වෙස්සභූ සූත්‍රය, කකුසන්ධ සූත්‍රය, කෝනාගමන සූත්‍රය, කාශ්‍යප සූත්‍රය, සහ මහත් යසස් ඇති, ශාක්‍ය මුනීන්ද්‍රයන් වහන්සේ පිළිබඳවූ ගෞතම සූත්‍රයයි. (මේ වර්ගයේ සූත්‍ර දහයකි.)