සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
3. දසබල වර්ගය
7. පච්චය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන්වහන්සේ “මහණෙනි”යි භික්ෂූන් ඇමතූසේක. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, අවිජ්ජාව නිසා සංස්කාරයෝ ඇතිවෙත්, සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවේ. විඤ්ඤාණය නිසා නාම රූප ඇතිවේ. නාම රූප නිසා සළායතන ඇතිවේ. සළායතන නිසා ස්පර්ශය ඇතිවේ. ස්පර්ශය නිසා වේදනාව ඇතිවේ. වේදනාව නිසා තණ්හාව ඇතිවේ. තණ්හාව නිසා උපාදානය ඇතිවේ. උපාදානය නිසා භවය ඇතිවේ. භවය නිසා (ජාතිය) ඉපදීම ඇතිවේ. ඉපදීම (ජාතිය) නිසා ජරා මරණ, ශෝකවීම් හැඬීම්, දුක්වීම්, දොම්නස් වීම් සහ වැළපීම් ඇතිවෙත්. මෙසේ මේ සියලු දුක් ගොඩ ඇතිවේ. මහණෙනි, ජරාමරණය කවරේද? ඒ ඒ සත්වනිකායෙහිවූ, ඒ ඒ සත්වයන්ගේ යම් ජරාවක්, දිරායාමක්, දත් වැටීමක්, කෙස් සුදුවීමක්, ඇඟ රැළි වැටීමක්, ආයුෂයාගේ ගෙවීයාමක්, ඉන්ද්‍රියන්ගේ මේරීමක් වේද, මෙය ජරාවයයි කියනු ලැබේ. ඒ ඒ සත්ව නිකායෙන් ඒ ඒ සත්වයන්ගේ යම් චුතවීමක්, පහවීයාමක්, බිඳීමක්, අතුරුදහන් වීමක්, මෘත්‍යු නම් මරණයක්, කාලක්‍රියාවක් ස්කන්ධයන්ගේ බිඳීමක්, මෘතශරීර අත්හැර දැමීමක් වේද, මෙය මරණයයි කියනු ලැබේ. ඒ දිරීමද, මේ මැරීමද මෙසේයි. මහණෙනි මෙය ජරාමරණයයි කියනු ලැබේ. ජාතිය (ඉපදීම) ඇතිවීමෙන් ජරා මරණය ඇතිවේ. ජාතිය (ඉපදීම) නැතිවීමෙන් ජරා මරණය නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ජරාමරණය නැතිකරන මාර්ගයයි. හේ කවරේද? සම්මා දිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්‍යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධිය.
“මහණෙනි, ඉපදීම කවරේද? ඒ ඒ සත්ත්ව නිකායෙහි ඒ ඒ සත්ත්වයින්ගේ යම් ඇතිවීමක්, හටගැනීමක්, බැසගැනීමක් ඉපදීමක්, සත්ත්වයින්ගේ ඇතිවීමක් ආයතනයන්ගේ පහළවීමක් වේද, මහණෙනි, මෙය ජාතියයි කියනු ලැබේ. (කර්ම) භවය ඇතිවීමෙන් ඉපදීම ඇතිවේ. (කර්ම) භවය නැතිවීමෙන් ඉපදීම නැතිවේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයම ඉපදීම නැතිකරන මාර්ගයයි. හේ කවරේද? සම්මාදිට්ඨිය, සම්මා සඩ්කප්පය, සම්‍යක් වචනය, සම්මා කම්මන්තය, සම්මා ආජීවය, සම්මා වායාමය, සම්මා සතිය සහ සම්මා සමාධියයි.
“මහණෙනි, භවය කවරේද? මහණෙනි, කාමභවය, රූප භවය සහ අරූප භවයයි මේ භව තුනෙකි. මහණෙනි, මෙය භවයයි කියනු ලැබේ.
“මහණෙනි, උපාදානය කවරේද? මහණෙනි, කාමුපාදානය, දිට්ඨුපාදානය, සීලබ්බතූපාදානය සහ අත්තවාදූපාදානයයි මේ උපාදානයන් සිව්දෙනෙක් වේ. මහණෙනි, මෙය උපාදානයයි කියනු ලැබේ.
“මහණෙනි, තණ්හාව කවරේද? මහණෙනි, රූප තණ්හාව, සද්ද තණ්හාව, ගන්ධ තණ්හාව, රස තණ්හාව, පොට්ඨබ්බ තණ්හාව සහ ධර්ම තණ්හාව යයි මේ තණ්හා සමූහයන් සය දෙනෙක් වේ. මහණෙනි, මෙය තණ්හාවයයි කියනු ලැබේ.
“මහණෙනි, වේදනාව කවරේද? මහණෙනි, චක්ඛු සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, සෝත සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ඝාණ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, ජීවහා සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව, කාය සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව සහ මනෝ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව යයි මේ වේදනා සමූහ සයකි. මහණෙනි, මෙය වේදනාව යයි කියනු ලැබේ.
“මහණෙනි, ස්පර්ශය කවරේද? මහණෙනි, චක්ඛු සම්ඵස්සය, සෝත සම්ඵස්සය, ඝාණ සම්ඵස්සය, ජිව්හා සම්ඵස්සය, කාය සම්ඵස්සය සහ මනෝ සම්ඵස්සයයි මේ ස්පර්ශ සමූහ සයකි. මහණෙනි, මෙය ස්පර්ශයයි කියනු ලැබේ.
“මහණෙනි, සළායතන (ඉන්ද්‍රියයන්) කවරේද? මහණෙනි චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, ජිව්හායතනය කායායතනය සහ මනායතන යයි. මහණෙනි, මෙය සළායතනයයි කියනු ලැබේ.
“මහණෙනි, නාමරූප කවරේද? වේදනාව, සංඥාව, චේතනාව, ස්පර්ශය සහ මනසිකාරය යන මෙය නාමයයි කියනු ලැබේ. සතර මහා භූතයින් සහ සතර මහා භූත සමූහය ගෙන පවත්නා රූපය යන මෙය රූපයයි කියනු ලැබේ. ඒ නාමයද, මේ රූපයද මෙසේයි. මහණෙනි, මෙය නාම රූපයයි කියනු ලැබේ.
“මහණෙනි, විඤ්ඤාණය කවරේද? මහණෙනි, චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය සහ මනෝ විඤ්ඤාණයයි මේ විඤ්ඤාණ සමූහ සයකි මහණෙනි, මෙය විඤ්ඤාණයයි කියනු ලැබේ.
“මහණෙනි, සංස්කාර කවරේද? මහණෙනි, කාය සංඛාරය, වචීසංඛාරය, චිත්තසංඛාරයයි මේ සංස්කාර තිදෙනෙකි. මහණෙනි, මොවුහු සංස්කාරයෝයයි කියනු ලැබෙත්.
“මහණෙනි, යම් හේතුවකින් ආර්ය ශ්‍රාවක තෙම මෙසේ (දුක්ඛසත්‍යය වශයෙන්) ප්‍රත්‍යය දනීද, මෙසේ (සමුදය සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය ඇතිවීම දනීද, මෙසේ (නිරෝධ සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය නැතිවීම දනීද, මෙසේ (මාර්ග සත්‍යය වශයෙන්) ප්‍රත්‍යය නැතිකරන මාර්ගය දනීද, මහණෙනි, මේ ආර්ය ශ්‍රාවක තෙම මාර්ග දෘෂ්ටියෙන් යුක්ත යයි කියාද මාර්ග දර්ශනයෙන් යුක්තයි කියාද, මේ සද්ධර්මයට ආයේයයි කියාද, මේ සද්ධර්මය දකියි කියාද, මාර්ගඥානයෙන් යුක්තයයි කියාද, මාර්ග විද්‍යාවෙන් යුක්තයයි කියාද, මාර්ග නම්වූ ධර්මශ්‍රොතයට පැමිණියේයයි කියාද, පෘථග්ජන භූමිය ඉක්මවූ, කලකිරීමේ නුවණ ඇත්තේයයි කියාද, නිර්වාණ මාර්ගයට පැමිණ සිටීයයි කියාද කියනු ලැබේ.”