සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
1. බුද්ධ වර්ගය
4. විපස්සී සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, භාග්‍යවත්වූ, අර්හත්වූ, විපස්සී නම් සම්මා සම්බුදුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි මේ සිත පහළ විය. ‘මේ සත්වලෝකයා දුකට පැමිණියේ වෙයි. උපදී, ජරාවට පත්වෙයි, මැරෙයි, චුතවෙයි, පිළිසිඳ ගනියි, එතකුදු වුවත් ජරා මරණයෙන් යුත් මේ දුක නැති කිරීම නොදනී. කවර කලක ජරා මරණයෙන් යුත් මේ දුක නැතිකිරීම දකින්නේද?’ කියායි.
ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. “කුමක් ඇතිකල්හි ජරාව සහ මරණය ඇතිවේද, කුමක් නිසා ජරාව සහ මරණය ඇතිවේද?” කියායි.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට බුදුවීමට පළමු බෝසත් කාලයෙහි ඇති තතු මෙනෙහි කිරීමෙන් ඉපදීම ඇතිකල වනාහි ජරාව සහ මරණය ඇති වෙයි කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් ඇති කල්හි ඉපදීම ඇති වේද, කුමක් නිසා ඉපදීම ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් භවය ඇතිකල්හි වනාහි ඉපදීම ඇතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි භවය ඇතිවේද, කුමක් නිසා භවය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය (තදින් ඇලීම) ඇති කල්හි වනාහි භවය ඇතිවෙයි, උපාදානය නිසා භවය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් ඇතිකල්හි වනාහි උපාදානය ඇතිවේද, කුමක් නිසා උපාදානය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් සහ නුවණින් මෙනෙහි කිරීමෙන් තණ්හාව ඇතිකල්හි වනාහි උපාදනය ඇතිවෙයි, තණ්හාව නිසා උපාදානය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය, ‘කුමක් ඇති කල්හි වනාහි තණ්හාව ඇතිවේද කුමක් නිසා තණ්හාව ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව ඇතිකල්හි වනාහි තණ්හාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි වේදනාව ඇතිවේද, කුමක් නිසා වේදනාව ඇතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය ඇති කල්හි වනාහි වේදනාව ඇතිවෙයි. ස්පර්ශය නිසා වේදනාව ඇතිවෙයි,’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවේද, කුමක් නිසා ස්පර්ශය ඇතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට, ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් ඇති කල්හි වනාහි ස්පර්ශය ඇතිවෙයි. සළායතනයන් නිසා ස්පර්ශය ඇතිවෙයි කියා (නුවණින්) අවබෝධ විය.”
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇතිකල්හි වනාහි සළායතනයන් ඇතිවේද, කුමක් නිසා සළායතනයන් ඇතිවේද?’ කියායි. මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයන් ඇති කල්හි වනාහි සළායතනයන් ඇතිවෙයි. නාමරූපයන් නිසා සළායතනයන් ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි නාමරූපයන් ඇතිවේද, කුමක් නිසා නාමරූපයන් ඇතිවේද?’ කියායි. මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය ඇති කල්හි නාමරූප ඇතිවෙයි, විඤ්ඤාණය නිසා නාමරූප ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවේද?, කුමක් නිසා විඤ්ඤාණය ඇතිවේද?’ කියායි. මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාරයන් ඇති කල්හි වනාහි විඤ්ඤාණය ඇතිවෙයි. සංස්කාරයන් නිසා විඤ්ඤාණය ඇතිවෙයි’ කියා (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇති වෙත්ද?, කුමක් නිසා සංස්කාරයෝ ඇතිවෙත්ද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘අවිද්‍යාව ඇති කල්හි වනාහි සංස්කාරයෝ ඇතිවෙත්. අවිද්‍යා නිසා සංස්කාරයෝ ඇතිවෙත්’ කියා (නුවණින්) අවබෝධ විය.
“මෙසේ වනාහි අවිද්‍යාව නිසා සංස්කාරයෝද, සංස්කාර නිසා විඤ්ඤාණයද, විඤ්ඤාණය නිසා නාමරූපද, නාමරූප නිසා සළායතනද, සළායතන නිසා ස්පර්ශයද, ස්පර්ශය නිසා වේදනාවද, වේදනාව නිසා තණ්හාවද, තණ්හාව නිසා උපාදානයද, උපාදානය නිසා භවයද, භවය නිසා ජාතියද, ජාතිය නිසා ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද ඇතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක්ගොඩ ඇතිවීම වෙයි. මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට වනාහි පහළවීම, යන පෙර නොඇසූ මේ කාරණයෙහි නුවණැස පහළවිය. ඤාණය පහළවිය. ප්‍රඥාව පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළවිය.
“මහණෙනි; විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ජරාමරණය නැතිවේද, කවරක් නැතිවීමෙන් ජරාමරණය නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ඉපදීම නැති කල්හි වනාහි ජරාමරණය ඇතිනොවේ. ඉපදීම නැතිකිරීමෙන් ජරාව සහ මරණය නැතිවේ’යයි (නුවණින්) අවබෝධ විය.
මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි ඉපදීම නැතිවේද, කවරක් නැතිවීමෙන් ඉපදීම නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට, ඇතිතතු මෙනෙහි කිරීමෙන් භවය නැති කල්හි වනාහි ඉපදීම ඇති නොවේ. භවය නැති කිරීමෙන් ඉපදී නැති වේය’යි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි භවය නැතිවේද කුමක් නැතිවීමෙන් භවය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘උපාදානය නැති කල්හි වනාහි භවය ඇති නොවේ. උපාදානය නැතිකිරීමෙන් භවය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය, ‘කුමක් නැති කල්හි වනාහි උපාදානය නැතිවේ, කවරක් නැතිවීමෙන් උපාදානය නැතිවේද? කියායි. මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් තණ්හාව නැති කල්හි වනාහි උපාදානය ඇතිනොවේ. තණ්හාව නැතිකිරීමෙන් උපාදානය නැතිවේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි තණ්හාව නැතිවේද, කවරක් නැතිවීමෙන් තණ්හාව නැතිවේද?’ කියායි. මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘වේදනාව නැති කල්හි වනාහි තණ්හාව ඇති නොවේ. වේදනාව නැතිකිරීමෙන් තණ්හාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. “කුමක් නැතිකල්හි වනාහි වේදනාව නැතිවේද කවරක් නැතිවීමෙන් වේදනාව නැතිවේද?’ කියායි මහණෙනි; ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘ස්පර්ශය නැති කල්හි වනාහි වේදනාව ඇති නොවේ. ස්පර්ශය නැති කිරීමෙන් වේදනාව නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැතිකල්හි වනාහි ස්පර්ශය නැතිවේද, කවරක් නැතිවීමෙන් ස්පර්ශය නැතිවේද?’ කියායි. මහණෙනි ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සළායතනයන් නැති කල්හි වනාහි ස්පර්ශය ඇති නොවේ. සළායතනයන් නැති කිරීමෙන් ස්පර්ශය නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සළායතන නැතිවේද, කවරක් නැතිවීමෙන් සළායතන නැතිවේද?’ කියායි මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘නාමරූපයෝ නැති කල්හි වනාහි සළායතන ඇති නොවේ. නාමරූපයෝ නැති කිරීමෙන් සළායතන නැති වේයයි’ (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළ විය. ‘කුමක් නැතිකල්හි වනාහි නාමරූපයෝ නැතිවේද, කවරක් නැති වීමෙන් නාමරූපයෝ නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘විඤ්ඤාණය නැති කල්හි වනාහි නාමරූපයන් ඇති නොවේ. විඤ්ඤාණය නැති කිරීමෙන් නාමරූපයන් නැති වේයයි (නුවණින්) අවබෝධ විය.
“මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ සිත පහළවිය. ‘කුමක් නැති කල්හි වනාහි විඤ්ඤාණය නැති නොවේද? කවරක් නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් ‘සංස්කාර නැති කල්හි වනාහි විඤ්ඤාණය ඇති නොවේ. සංස්කාර නැති කිරීමෙන් විඤ්ඤාණය නැතිවේයයි’ (නුවණින්) අවබෝධ විය.
මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට මේ අදහස පහළ විය. ‘කුමක් නැති කල්හි වනාහි සංස්කාර නැතිවේද, කවරක් නැති කිරීමෙන් සංස්කාර නැති වේද?’ කියායි. මහණෙනි, ඉක්බිති විපස්සී නම් බෝසතුන්ට ඇති තතු මෙනෙහි කිරීමෙන් අවිද්‍යාව නැති කල්හි වනාහි සංස්කාර ඇති නොවේ. අවිද්‍යාව නැතිකිරීමෙන් සංස්කාර නැති වේයයි (නුවණින්) අවබෝධ විය.
මෙසේ අවිද්‍යාව නැතිවීමෙන් සංස්කාර නැතිවේ. සංස්කාර නැතිවීමෙන් විඤ්ඤාණය නැතිවේ. විඤ්ඤාණය නැතිවීමෙන් නාමරූප නැතිවෙයි. නාමරූප නැතිවීමෙන් සළායතන නැතිවෙයි. සළායතන නැතිවීමෙන් ස්පර්ශය නැතිවෙයි. ස්පර්ශය නැතිවීමෙන් වේදනාව නැති වෙයි. වේදනාව නැතිවීමෙන් තණ්හාව නැතිවෙයි. තණ්හාව නැතිවීමෙන් උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවෙයි. භවය නැතිවීමෙන් ජාතිය නැතිවෙයි. ජාතිය නැතිවීමෙන් ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සියලු (එකම) දුක් ගොඩ නැතිවෙයි. මහණෙනි, විපස්සී නම් බෝසතුන්ට වනාහි නැතිවීම නැතිවීමයයි පෙර නො ඇසූ නුවණැස පහළවිය. විද්‍යාව පහළවිය. ආලෝකය පහළ විය.”