සංයුත්තනිකායො
නිදාන වර්ගය
1. නිදාන සංයුත්තය
7. මහා වර්ගය
9. උපයන්ති සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහි අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, මහමුහුද (වඩදිය ගලන්නේ) මහා ගංගාවන් පුරවයි. මහා ගංගාවෝ පිරීයන්නාහු කුඩා ගංගාවන් පුරවත්. කුඩා ගංගාවෝ පිරීයන්නාහු මහ පතස් පුරවත්. මහ පතස් පිරීයන්නාහු කුඩා වළවල් පුරවත්. මහණෙනි, එසේම වනාහි අවිජ්ජා තොමෝ වැඩෙන්නී සංස්කාරයන් වඩන්නීය. සංස්කාරයෝ වැඩෙන්නාහු විඤ්ඤාණය වඩත්. විඤ්ඤාණය වැඩෙන්නේ නාමරූපය වඩයි. නාමරූපය වැඩෙන්නේ සළායතන වඩයි. සළායතන වැඩෙන්නේ ස්පර්ශය වඩයි. ස්පර්ශය වැඩෙන්නේ වේදනාව වඩයි. වේදනාව වැඩෙන්නී තණ්හාව වඩන්නීය. තණ්හාව වැඩෙන්නී උපාදානය වඩන්නීය. උපාදානය වැඩෙන්නේ භවය වඩයි. භවය වැඩෙන්නේ ජාතිය වඩයි. ජාතිය වැඩෙන්නේ ජරාමරණය වඩයි.
“මහණෙනි, මහ මුහුද (වඩදිය බැසයන්නේ) මහා ගංගාවන් නොපුරවයි. මහා ගංගාවෝ නොපිරුණාහු කුඩා ගංගාවන් නොපුරවත්. කුඩා ගංගාවෝ නොපිරෙන්නාහු මහ පතස් නොපුරවත්. මහ පතස් නොපිරෙන්නේ කුඩා වළවල් නොපුරවත්. මහණෙනි, එසේම වනාහි අවිජ්ජාව නොවැඩෙන්නී සංස්කාරයන් නොවඩන්නීය. සංස්කාරයෝ නොවැඩෙන්නාහු විඤ්ඤාණය නොවඩත්. විඤ්ඤාණය නොවැඩෙන්නේ නාමරූපය නොවඩයි. නාමරූපය නොවැඩෙන්නේ සළායතන නොවඩයි. සළායතන නොවැඩෙන්නේ ස්පර්ශය නොවඩයි. ස්පර්ශය නොවැඩෙන්නේ වේදනාව නොවඩයි. වේදනාව නොවැඩෙන්නී තණ්හාව නොවඩන්නීය. තණ්හාව නොවැඩෙන්නී උපාදානය නොවඩන්නීය. උපාදානය නොවැඩෙන්නේ භවය නොවඩන්නීය. භවය නොවැඩෙන්නේ ජාතිය නොවඩයි. ජාතිය නොවැඩෙන්නී ජරා මරණය නොවඩයි.
(නවවන උපයන්ති සූත්‍රය නිමි.)