සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
2. සත්තධාතු වර්ගය
4. හීනාධිමුත්තික සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතු (අදහස්) වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. හීන අදහස් ඇත්තාවූ සත්වයෝ හීන අදහස් ඇත්තාවූ, සත්වයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. යහපත් අදහස් ඇත්තාවූ සත්වයෝ, යහපත් අදහස් ඇත්තාවූ සත්වයන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන්ම සත්වයෝ එක්වූහ. සමගිවූහ. (කෙසේද?) හීන අදහස් ඇති සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගිවූහ. යහපත් අදහස් ඇති සත්වයෝ යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ, අදහස් වශයෙන්ම එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) හීන අදහස් ඇති සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. යහපත් අදහස් ඇති සත්වයෝ, යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන්, වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන්ම සත්වයෝ එක්වෙත් සමගි වෙත්. (කෙසේද?) හීන අදහස් ඇති සත්වයෝ, හීන අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්. යහපත් අදහස් ඇති සත්වයෝ, යහපත් අදහස් ඇති සත්වයන් හා සමග එක් වෙත්. සමගි වෙත්.”
(සිව්වන හීනාධිමුත්තික සූත්‍රය නිමි.)