සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
3. කම්මපථ වර්ගය
2. දුස්සීල සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවන ලද, ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන්, සත්වයෝ එක්වෙත්, සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වෙත් සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වූහ. සමගි වූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වූහ. සමගි වූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක් වූහ, සමගි වූහ. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක් වූහ. සමගිවූහ. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක් වූහ. සමගිවූහ. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය සමගි වන්නාහුය. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥා වන්තයෝ ප්‍රඥා වන්තයින් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය.
“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක් වෙත්. සමගිවෙත්. පවට බිය නැත්තෝ පවට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. දුස්සීලයෝ දුස්සීලයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පවට බිය ඇත්තෝ පවට බිය ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්. සීලවන්තයෝ සීලවන්තයින් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්.”
(දෙවෙනි දුස්සීල සූත්‍රය නිමි.)