සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
3. කම්මපථ වර්ගය
1. අසමාභිත සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන්වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි, කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන්, සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එකඟ නොවූ සිත් ඇත්තෝ එකඟ නොවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වෙත්, සමගි වෙත්. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක් වෙත්, සමගි වෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ, සමගි වූහ. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. එකඟ නොවූ සිත් ඇත්තෝ එකඟ නොවූ සිත් ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වූහ, සමගිවූහ. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වූහ, සමගි වූහ. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය, සමගි වන්නාහුය. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පව් කිරීමට බිය නැත්තෝ පව්කිරීමට බිය නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. එකඟ නොවූ සිත් නැත්තෝ එකඟ නොවූ සිත් නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. පව්කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය.
“මහණෙනි, වර්තමාන කාලයෙහිද අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගි වෙත්. (කෙසේද?) ශ්‍රද්ධාව නැත්තෝ ශ්‍රද්ධාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා නැත්තෝ ලජ්ජා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පව් කිරීමට බිය නැත්තෝ පව් කිරීමට බිය නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එකඟ නොවූ සිත් ඇත්තෝ එකඟ නොවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාව නැත්තෝ ප්‍රඥාව නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ශ්‍රද්ධාව ඇත්තෝ ශ්‍රද්ධාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ලජ්ජා ඇත්තෝ ලජ්ජා ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පව් කිරීමට බිය ඇත්තෝ පව් කිරීමට බිය ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. එකඟවූ සිත් ඇත්තෝ එකඟවූ සිත් ඇත්තන් හා සමග එක්වෙත්, සමගිවෙත්. ප්‍රඥාව ඇත්තෝ ප්‍රඥාව ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්.”
(පළමුවෙනි අසමාභිත සූත්‍රය නිමි.)