සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

2. සත්තධාතු වර්ගය

12. කුසීත සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’ යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගි වෙත්. මුළා සිහි ඇත්තෝ මුළා සිහි ඇත්තන් හා සමග එක් වෙත්. සමගි වෙත්. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.

“මහණෙනි, අතීත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වූහ. සමගිවූහ. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වූහ. සමගිවූහ. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වූහ. සමගිවූහ.

“මහණෙනි, අනාගත කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රඥා නැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. පටන්ගන්නාලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය.

“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද සත්වයෝ අදහස් වශයෙන් එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) කුසීතයෝ කුසීතයන් හා සමග එක්වෙත්. සමගිවෙත්. සිහි මුළාවූවෝ සිහි මුළාවූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥානැත්තෝ ප්‍රඥා නැත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. පටන්ගන්නා ලද උත්සාහය ඇත්තෝ පටන්ගන්නාලද උත්සාහය ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. එළඹසිටි සිහි ඇත්තෝ එළඹසිටි සිහි ඇත්තන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රඥාවන්තයෝ ප්‍රඥාවන්තයින් හා සමග එක්වෙත්. සමගිවෙත්.

(කුසීත සූත්‍රය නිමි.)

දෙවෙනි සත්තධාතු වර්ගය නිමි.

සත්තිම සූත්‍රයද, සනිදාන සූත්‍රයද, ගිඤ්ජකාවසථ සූත්‍රයද, හීනාධිමුක්තික සූත්‍රයද, චංකම සූත්‍රයද, සගාථ සූත්‍රයද, සත්වන අස්සද්ධා සූත්‍රයද, අස්සද්ධමූලක සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර පසද, අහිරිකමූලක සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර සතරද, අනොත්තප්පමූලක සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර තුනද, අප්පස්සුත සූත්‍රයද, නොහොත් එනම් සූත්‍ර දෙකද, කුසීත සූත්‍රයදැයි මේ වර්ගයෙහි සූත්‍ර දොළොසකි. නොහොත් සත්තිමාදී සතකි.

අස්සද්ධමූලකාදී පසළොසකි.