සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
3. කම්මපථ වර්ගය
4. සත්තකම්මපථ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
“මහණෙනි, අතීත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක් වූහ. සමගි වූහ. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වූහ, සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වූහ, සමගි වූහ. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග සමගිවූහ. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ, සමගිවූහ. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වූහ. සමගිවූහ.
“මහණෙනි, අනාගත කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වන්නාහුය. සමගිවන්නාහුය. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක් වන්නාහුය, සමගිවන්නාහුය. හොරකම් කරන්නෝ හොර කරන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගිවන්නාහුය. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය, සමගි වන්නාහුය. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගි වන්නාහුය. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන්වූවන් හා සමග එක්වන්නාහුය. සමගිවන්නාහුය.
“මහණෙනි, දැන් වර්තමාන කාලයෙහිද, අදහස් වශයෙන් සත්වයෝ එක්වෙත්. සමගිවෙත්. (කෙසේද?) ප්‍රාණඝාත කරන්නෝ ප්‍රාණඝාත කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකම් කරන්නෝ හොරකම් කරන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරෙන්නෝ කාමයන්හි වරදවා හැසිරෙන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. බොරු කියන්නෝ බොරු කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත් කේලාම් කියන්නෝ කේලාම් කියන්නන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කියන්නෝ ඵරුෂ වචන කියන්නන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රලාප කියන්නෝ ප්‍රලාප කියන්නන් හා සමග එක් වෙත්. සමගිවෙත්. ප්‍රාණඝාතයෙන් වෙන්වූවෝ ප්‍රාණඝාතයෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. හොරකමින් වෙන්වූවෝ හොරකමින් වෙන්වූවන් හා සමග එක්වෙත්, සමගිවෙත්. කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවෝ කාමයන්හි වරදවා හැසිරීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. බොරු කීමෙන් වෙන්වූවෝ බොරු කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. කේලාම් කීමෙන් වෙන්වූවෝ කේලාම් කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්. ඵරුෂ වචන කීමෙන් වෙන්වූවෝ ඵරුෂ වචන කීමෙන් වෙන්වූවන් හා සමග එක්වෙත්. සමගි වෙත්. ප්‍රලාප කීමෙන් වෙන්වූවෝ ප්‍රලාප කීමෙන් වෙන් වූවන් හා සමග එක්වෙත්. සමගිවෙත්.
(හතරවෙනි සත්තකම්මපථ සූත්‍රය නිමි.)