සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
4. චතු ධාතු වර්ගය
7. උප්පාද සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද, ජේතවනාරාමයෙහි වාසයකරනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූහ. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන්වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, පඨවි ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, එය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි.
“ආපෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි.
“තේජෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි.
“වායෝ ධාතුවෙහි යම් හටගැන්මක්, සිටීමක්, ඉපදීමක්, පහළවීමක් වේද, මෙය දුක්ඛයාගේ ඉපදීමයි. රෝගයන්ගේ සිටීමයි. ජරාමරණයාගේ පහළවීමයි.
“මහණෙනි, පඨවි ධාතුවෙහි වනාහි යම් නැතිවීමක් (නිරොධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරොධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි.
“ආපෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරොධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරොධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි.
“තේජෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරොධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරොධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි.
“වායෝ ධාතුවෙහි යම් නැතිවීමක් (නිරොධයක්), සංසිඳීමක්, විනාශවීමක් වේද, මෙයද දුක්ඛයාගේ නැතිවීමයි. (නිරොධයයි.) රෝගයන්ගේ සංසිඳීමයි. ජරාමරණයාගේ විනාශයයි.”
(හත්වෙනි උප්පාද සූත්‍රය නිමි.)