සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
1. නානත්ත වර්ගය
6. ධාතු සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, තොපට ධාතූන්ගේ නානත්වය දේශනා කරන්නෙමි. එය අසව්. මනාකොට මෙනෙහි කරව්. කියන්නෙමියි” වදාළ සේක. “එසේය. ස්වාමීනියි” කියා ඒ භික්ෂූහු වනාහි භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය දේශනා කළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය කවරේද? රූප ධාතුව, සද්දධාතුව, ගන්ධ ධාතුව, රසධාතුව, ඵොට්ඨබ්බධාතුව සහ ධම්මධාතුවයි. මහණෙනි, මෙය වනාහි ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.”
(හයවෙනි ධාතු සූත්‍රය නිමි.)