සංයුත්තනිකායො

නිදාන වර්ගය

3. ධාතු සංයුත්තය

1. නානත්ත වර්ගය

5. නෝවේදනා සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී, භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි”යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි”යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇති නොවේ. ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.

“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද?”

චක්ඛුධාතුව, සෝතධාතුව, ඝානධාතුව, ජිව්හාධාතුව, කායධාතුව සහ මනෝධාතුවයි. මහණෙනි, මෙය ධාතු නානත්වයයි කියනු ලැබේ.

“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේද? වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයින්ගේ නානත්වය ඇති නොවේද? ස්පර්ශයින්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේද? මහණෙනි, චක්ඛු ධාතුව නිසා චක්ඛුසම්ඵපස්සය ඇතිවේ. චක්ඛු සම්ඵස්සය නිසා චක්ඛුසම්ඵස්සයෙන් උපදින වේදනා තොමෝ ඇති වන්නීය. චක්ඛුසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා චක්ඛුසම්ඵස්සය ඇති නොවෙයි. චක්ඛුසම්ඵස්සය නිසා චක්ඛුධාතු තොමෝ ඇති නොවන්නීය.

“මහණෙනි, සෝතධාතුව නිසා සෝත සම්ඵස්සය ඇතිවේ. සෝතසම්ඵස්සය නිසා සෝතසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. සෝතසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා සෝතසම්ඵස්සය ඇති නොවේ. සෝත සම්ඵස්සය නිසා සෝතධාතුව ඇති නොවන්නීය.

“මහණෙනි, ඝානධාතුව නිසා ඝාන සම්ඵස්සය ඇතිවේ. ඝානසම්ඵස්සය නිසා ඝානසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. ඝානසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා ඝානසම්ඵස්සය ඇති නොවේ. ඝානසම්ඵස්සය නිසා ඝානධාතුව ඇති නොවන්නීය.

“මහණෙනි, ජිව්හාධාතුව නිසා ජිව්හාසම්ඵස්සය ඇතිවේ. ජිව්හා සම්ඵස්සය නිසා ජිව්හාසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. ජිව්හාසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා ජිව්හාසම්ඵස්සය ඇති නොවෙයි. ජිව්හාසම්ඵස්සය නිසා ජිව්හා ධාතුව ඇති නොවන්නීය.

“මහණෙනි, කායධාතුව නිසා කායසම්ඵස්සය ඇතිවේ. කාය සම්ඵස්සය නිසා කායසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. කායසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා කායසම්ඵස්සය ඇති නොවේ. කායසම්ඵස්සය නිසා කායධාතුව ඇති නොවන්නීය.

“මහණෙනි, මනෝධාතුව නිසා මනෝසම්ඵස්සය ඇතිවේ. මනෝසම්ඵස්සය නිසා මනෝසම්ඵස්සයෙන් උපදින වේදනාව ඇතිවන්නීය. මනෝසම්ඵස්සයෙන් උපදින වේදනාව නිසා මනෝසම්ඵස්සය ඇති නොවෙයි. මනෝසම්ඵස්සය නිසා මනෝධාතු තොමෝ ඇති නොවන්නීය.

“මහණෙනි, මෙසේ වනාහි ධාතූන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේ. වේදනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයන්ගේ නානත්වය ඇති නොවේ. ස්පර්ශයන්ගේ නානත්වය නිසා ධාතූන්ගේ නානත්වය ඇති නොවේ.”

(පස්වෙනි නෝ වේදනා සූත්‍රය නිමි.)