සංයුත්තනිකායො
නිදාන වර්ගය
3. ධාතු සංයුත්තය
1. නානත්ත වර්ගය
9. ඵස්ස සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ “මහණෙනි” යි කියා භික්ෂූන් ඇමතූහ. “ස්වාමීනි” යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේ. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේ. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවේ. ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේ. වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේ. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවේ. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවේ. පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ (ලැබීමේ) නානත්වය ඇතිවේ.”
“මහණෙනි, ධාතූන්ගේ නානත්වය නම් කවරේද? රූප ධාතුව, ශබ්ද ධාතුව, ගන්ධ ධාතුව, රස ධාතුව, ස්පර්ශ ධාතුව සහ ධම්ම ධාතුවයි. මහණෙනි, මෙය ධාතූන්ගේ නානත්වයයි කියනු ලැබේ.
“මහණෙනි, කෙසේ නම් ධාතූන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවේද? සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවේද? සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවේද? ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවේද, වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවේද? ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවේද? පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයන්ගේ නානත්වය ඇතිවේද? පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය ඇතිවේද?
“මහණෙනි, රූප ධාතුව නිසා රූප සංඥාව ඇතිවේ. රූප සංඥාව නිසා රූප සංකල්පනාව ඇතිවේ. රූප සංකල්පනාව නිසා රූපසම්ඵස්සය ඇතිවේ. රූප සම්ඵස්සය නිසා රූප සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව උපදියි. රූපසම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිසා රූපච්ඡන්දය ඇතිවේ. රූපච්ඡන්දය නිසා රූප පරිදාහය ඇතිවෙයි. රූප පරිදාහය නිසා රූප පරියේසනය ඇතිවෙයි. රූප පරියේසනය නිසා රූප ලාභය (රූපයන්ගේ ලැබීම) ඇතිවෙයි.
ශබ්ද ධාතුව නිසා ශබ්ද සංඥාව ඇතිවේ. ශබ්ද සංඥාව නිසා ශබ්ද සංකල්පනාව ඇතිවේ. ශබ්ද සංකල්පනාව නිසා ශබ්ද සම්ඵස්සය ඇතිවේ. ශබ්ද සම්ඵස්සය නිසා ශබ්ද සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව උපදියි. ශබ්ද සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිසා ශබ්දච්ඡන්දය ඇතිවේ. ශබ්දච්ඡන්දය නිසා ශබ්ද පරිදාහය ඇතිවේ. ශබ්ද පරිදාහය නිසා ශබ්ද පරියේසනය ඇතිවේ. ශබ්ද පරියේසනය නිසා ශබ්ද ලාභය ඇතිවේ.
ගන්ධ ධාතුව නිසා ගන්ධ සංඥාව ඇතිවේ. ගන්ධ සංඥාව නිසා ගන්ධ සංකල්පනාව ඇතිවේ. ගන්ධ සංකල්පනාව නිසා ගන්ධ සම්ඵස්සය ඇතිවේ. ගන්ධ සම්ඵස්සය නිසා ගන්ධ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව උපදියි. ගන්ධ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිසා ගන්ධච්ඡන්දය ඇතිවේ. ගන්ධච්ඡන්දය නිසා ගන්ධ පරිදාහය ඇතිවේ. ගන්ධ පරිදාහය නිසා ගන්ධ පරියේසනය ඇතිවේ. ගන්ධ පරියේසනය නිසා ගන්ධ ලාභය ඇතිවේ.
රස ධාතුව නිසා රස සංඥාව ඇතිවේ. රස සංඥාව නිසා රස සංකල්පනාව ඇතිවේ. රස සංකල්පනාව නිසා රස සම්ඵස්සය ඇතිවේ. රස සම්ඵස්සය නිසා රස සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව උපදියි. රස සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිසා රසච්ඡන්දය ඇතිවේ. රසච්ඡන්දය නිසා රස පරිදාහය ඇතිවේ. රස පරිදාහය නිසා රස පරියේසනය ඇතිවේ. රස පරියේසනය නිසා රස ලාභය ඇතිවේ.
ස්පර්ශ ධාතුව නිසා ස්පර්ශ සංඥාව ඇතිවේ. ස්පර්ශ සංඥාව නිසා ස්පර්ශ සංකල්පනාව ඇතිවේ. ස්පර්ශ සංකල්පනාව නිසා ස්පර්ශ සම්ඵස්සය ඇතිවේ. ස්පර්ශ සම්ඵස්සය නිසා ස්පර්ශ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව උපදියි. ස්පර්ශ සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිසා ස්පර්ශච්ඡන්දය ඇතිවේ. ස්පර්ශච්ඡන්දය නිසා ස්පර්ශ පරිදාහය ඇතිවේ. ස්පර්ශ පරිදාහය නිසා ස්පර්ශ පරියේසනය ඇතිවේ. ස්පර්ශ පරියේසනය නිසා ස්පර්ශ ලාභය ඇතිවේ.
ධර්මධාතුව නිසා ධර්ම සංඥාව ඇතිවේ. ධර්ම සංඥාව නිසා ධර්ම සංකල්පනාව ඇතිවේ. ධර්ම සංකල්පනාව නිසා ධර්ම සම්ඵස්සය ඇතිවේ. ධර්ම සම්ඵස්සය නිසා ධර්ම සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව උපදියි. ධර්ම සම්ඵස්සයෙන් ඇතිවෙන වේදනාව නිසා ධර්මච්ඡන්දය ඇතිවේ. ධර්මච්ඡන්දය නිසා ධර්ම පරිදාහය ඇතිවේ. ධර්ම පරිදාහය නිසා ධර්ම පරියේසනය ඇතිවේ. ධර්ම පරියේසනය නිසා ධර්ම ලාභය ඇතිවේ.
“මහණෙනි, මෙසේ වනාහි ධාතුන්ගේ නානත්වය නිසා සංඥාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංඥාවන්ගේ නානත්වය නිසා සංකල්පනාවන්ගේ නානත්වය ඇතිවෙයි. සංකල්පනාවන්ගේ නානත්වය නිසා ස්පර්ශයාගේ නානත්වය ඇතිවෙයි. ස්පර්ශයාගේ නානත්වය නිසා වේදනාවන්ගේ නානත්වය ඇතිවෙයි. වේදනාවන්ගේ නානත්වය නිසා ඡන්දයාගේ නානත්වය ඇතිවෙයි. ඡන්දයාගේ නානත්වය නිසා පරිදාහයාගේ නානත්වය ඇතිවෙයි. පරිදාහයාගේ නානත්වය නිසා පරියේසනයාගේ නානත්වය ඇතිවෙයි. පරියේසනයාගේ නානත්වය නිසා ලාභයාගේ නානත්වය ඇතිවේ.”
(නවවෙනි ඵස්ස සූත්‍රය නිමි.)