සංයුත්තනිකායො
නිදාන වර්ගය
7. රාහුල සංයුත්තය
1. පළමුවන වර්ගය
10. ඛන්ධ සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පැත්තක හුන්නේය. එක් පැත්තක හුන්නාවූ ආයුෂ්මත් රාහුල මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මට කොටින් දහම් දෙසනසේක් නම් යෙහෙකි. ඒ මම භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අසා තනිව වෙන්ව අප්‍රමාදව කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව, නිවන කරා යවන ලද සිත් ඇතිව වාසය කරන්නෙමි කියායි.
‘රාහුලය, ඒ කිමැයි හඟින්නෙහිද?’ ‘රූපය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ ‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘වේදනාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සංඥාව නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘සංස්කාරය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’-‘ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙන සුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, නුසුදුසුය.’
‘විඤ්ඤාණය නිත්‍ය හෝ අනිත්‍ය හෝ වේද?’-‘ස්වාමීනි, අනිත්‍යය.’
‘යමක් වනාහි අනිත්‍යද, එය දුක් හෝ සැප හෝ වේද?’ ස්වාමීනි, දුකය.’
‘යමක් වනාහි අනිත්‍ය නම්, දුක් නම්, පෙරළෙනසුළු නම්, එය මාගේය. එය මම වෙමි. එය මාගේ ආත්මයයි දැකීමට සුදුසුද?’-‘ස්වාමීනි, එය නුසුදුසුය.’
‘රාහුලය, මෙසේ දකින්නාවූ, ශ්‍රැතවත් (බොහෝ ඇසූ පිරූ තැන් ඇති) ආර්‍ය්‍ය ශ්‍රාවකතෙම රූපය කෙරෙහිත් කලකිරෙයි. වේදනාව කෙරෙහිත් කලකිරෙයි. සංඥාව කෙරෙහිත් කලකිරෙයි. සංස්කාර කෙරෙහිත් කලකිරෙයි. විඤ්ඤාණය කෙරෙහිත් කලකිරෙයි.
‘කලකිරුණේ නොඇලෙයි. නොඇලීමෙන් ක්ලෙශයන් ගෙන් මිදෙන්නේය. (ක්ලේශයන්ගෙන්) මිදුනු කල්හි (ක්ලෙශයන්ගෙන්) මිදුනේය යන ඤාණය උපදියි. ඉපදීම කෙළවර විය. බ්‍රහ්මචරියාවෙහි හැසිර නිමකරන ලද්දේය. කළයුත්ත කරන ලද්දේය. මින්පසු මේ ආත්මභාවය පිණිස කළයුත්තක් නැතැයි දැනගනියි.’
(දසවෙනි ඛන්ධ සූත්‍රය නිමි.)
පළමුවන වර්ගය නිමි.
චක්ඛු සූත්‍රය, රූප සූත්‍රය, විඤ්ඤාණ සූත්‍රය, සම්ඵස්ස සූත්‍රය, වේදනා සූත්‍රය, සඤ්ඤා සූත්‍රය, සඤ්චෙතනා සූත්‍රය, තණ්හා සූත්‍රය, ධාතු සූත්‍රය සහ ඛන්ධ සූත්‍රය දැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.