සංයුත්තනිකායො
නිදාන වර්ගය
7. රාහුල සංයුත්තය
2. දෙවැනි වර්ගය
11. අනුසය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක.
ඉක්බිති ආයුෂ්මත් රාහුලතෙම භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් රාහුලතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීයේය.
“ස්වාමීනි, කෙසේ දන්නහුට, කෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක කයෙහිද යන සියලු නිමිතිවල මමයයි ගන්නා දෘෂ්ටියද මාගේයයි ගන්නා තණ්හාවද මානානුශයද ඇති නොවෙත්ද?”
“රාහුලය, අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ සමීපවූ හෝ අතීතවූද, අනාගතවූදත වර්තමානවූද යම්කිසි රූපයක් වේද, (ඒ) සියලු රූපය ‘මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. එය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් සහ මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියිද,
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි වේදනාවක් වේද, (ඒ) සියලු වේදනාව මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංඥාවක් වේද, (ඒ) සියලු සංඥාව මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි සංස්කාරයක් වේද, (ඒ) සියලු සංස්කාර මෙය මාගේ නොවේ. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“අද්ධ්‍යාත්මිකවූ හෝ බාහිරවූ හෝ ඕලාරිකවූ හෝ සුඛුමවූ හෝ හීනවූ හෝ ප්‍රණීතවූ හෝ දුරවූ හෝ ළඟවූ හෝ අතීතවූද, අනාගතවූද, වර්තමානවූද, යම්කිසි විඤ්ඤාණයක් වේද, (ඒ) සියලු විඤ්ඤාණය මෙය මාගේ නොවේය. මෙය මම නොවෙමි. මෙය මාගේ ආත්මය නොවේයයි මෙසේ මෙය ඇති පරිදි විදර්ශනා ප්‍රඥාවෙන් හා මාර්ග ප්‍රඥාවෙන් මනාකොට දකියි.
“රාහුලය, මෙසේ දන්නහුට, මෙසේ දක්නහුට වනාහි මේ විඤ්ඤාණය සහිත කයෙහිද, බාහිරවූ, සවිඤ්ඤාණක සහ අවිඤ්ඤාණක කයෙහිද යන සියලු නිමිතිවල මමයයි ගන්නා තණ්හාවත් මානානුශයත් ඇති නොවෙති.”
(එකොළොස්වෙනි අනුශය සූත්‍රය නිමි.)