සංයුත්තනිකායො

නිදාන වර්ගය

8. ලක්ඛණ සංයුත්තය

2. දෙවැනි වර්ගය

4. මංකුළිත්ථි සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එසමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේද ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර, සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.

“ඇවැත් ලක්ඛණය, යමු. රජගහ නුවරට පිඬු පිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, (ඔබ වහන්සේ) සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයේදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහ නුවර පිඬු පිණිස හැසිර, බතින් පසු, (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුණාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක වැඩ හුන්නාහුය. එක් පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය.

“ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?

“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ මම අහසින් ගමන්කරන්නාවූ, දුගඳවූ, පිළිකුල් කටයුතුවූ, ස්ත්‍රියක (ප්‍රේතියක) දැක්කෙමි.” යක්ෂ ගිජුලිහිණියෝද, යක්ෂ කවුඩෝද, යක්ෂ උකුස්සෝද, එළව, එළවා ඒ ඇගේ මස් උදුරාදමති, විනාශ කෙරෙති. ඇය බැගෑපත්ව හඬ නඟයි.”

“ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය. ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි. මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්ම භාවයක් ලැබීමකුදු වන්නේය’ කියායි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් හට කථාකළ සේක.

“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේද ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ, ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ ස්ත්‍රිය මුලදීම මා විසින් දක්නාලද්දේ විය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.

“මහණෙනි, මේ ස්ත්‍රිය මේ රජගහ නුවරම නිමිති (පේන) කියන්නියක් වූවාය. ඇය ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්ම භාවයක් ලැබීම විඳිනු ලබන්නීයයි” වදාළ සේක.

(සතරවෙනි මඩ්කූළිත්ථි සූත්‍රය නිමි.)