සංයුත්තනිකායො

නිදාන වර්ගය

8. ලක්ඛණ සංයුත්තය

2. දෙවැනි වර්ගය

5. ඕකිලිනී සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර කලන්දක නිවාප නම් ලත් වේළුවනයෙහි (හුණවනයෙහි) වාසය කරන සේක. එ සමයෙහි වනාහි ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙමේද, ගිජ්ඣකූට පර්වතයෙහි වාසය කෙරෙති. ඉක්බිති ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරතෙම පෙරවරු (උදේ) කාලයෙහි හැඳ, පාත්‍ර සිවුරු ගෙන, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම යම්තැනෙක්හිද, එතැන්හි වැඩියේය. වැඩ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරයන් හට මෙය කීයේය.

“ඇවැත් ලක්ඛණය, යමු. රජගහනුවරට පිඬුපිණිස පිවිසෙමුයයි” කියායි. “ඇවැත, එසේයයි” කියා ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට පිළිතුරු දුන්නේය. ඉක්බිති ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන්හට මෙය කීයේය “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ඔබ වහන්සේ සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“ඇවැත් ලක්ඛණය, මේ ප්‍රශ්නයට වනාහි (දැන්) සුදුසු කාලය නොවේ. භාග්‍යවතුන් වහන්සේගේ සමීපයෙහිදී මේ ප්‍රශ්නය මාගෙන් අසවයි” කීයේය. ඉක්බිති ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිර තෙමේද, ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේද, රජගහනුවර පිඬු පිණිස හැසිර, බතින් පසු (සවස) පිණ්ඩපාතයේ යාමෙන් වැළකුනාහු, භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැන්හි වැඩියෝය. වැඩ, භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක් පසෙක හුන්නාහුය. එක්පසෙක හුන්නාවූ, ආයුෂ්මත් ලක්ඛණ ස්ථවිරතෙම ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. “ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නේ එක්තරා ප්‍රදේශයකදී සිනා පහළ කළේය. ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සිනා පහළ කිරීමට හේතුව කවරේද? ප්‍රත්‍යය කවරේද?”

“ඇවැත, ගිජ්ඣකූට පර්වතයෙන් බසින්නාවූ, මම අහසින් ගමන් කරන්නාවූ, උණුසුමින් පැසුනාවූ, කුණුවූ ඩහදිය ගලන්නාවූ ස්ත්‍රියක (ප්‍රේතියක) දැක්කෙමි. ඇය බැගෑපත් හඬ නැඟුවාය. ‘ඇවැත, ඒ මට මේ අදහස ඇතිවිය’ ‘පින්වත, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයෙකි. පින්වත, ඒකාන්තයෙන් පුදුමයකි.’ මෙබඳුවූ සත්වයෙකුත් වන්නේද, මෙබඳුවූ අමනුෂ්‍යයෙකුත් වන්නේද, මෙබඳුවූ ආත්මභාවයක් ලැබීමකුදු වන්නේය, කියායි.” ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්හට කථාකළ සේක.

“මහණෙනි, යම් හෙයකින් වනාහි ශ්‍රාවකයෙක්තෙම මෙසේ දනියිද, මෙසේ දකියිද, මෙසේ සාක්ෂ්‍ය හෝ කරන්නේ ඒකාන්තයෙන් (එවැනි) ඇස් ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒකාන්තයෙන් (එවැනි) ඤාණය ඇතිවූ ශ්‍රාවකයෝ වාසය කෙරෙති. මහණෙනි, ඒ ස්ත්‍රිය මුලදීම මා විසින් දක්නා ලද්දේවිය. එහෙත් මම ප්‍රකාශ නොකෙළෙමි. ඉදින් මම එය ප්‍රකාශ කෙළෙම් නම් අන්‍යයෝ මා නො අදහන්නාහුය. යම් අය මා නො අදහන්නාහු නම් එය ඔවුන් හට බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.

“මහණෙනි, මේ ස්ත්‍රිය කළිඟු රජුගේ අගමෙහෙසිය වූවාය. ඕ ඊර්ෂ්‍යාවෙන් සතුරු ස්ත්‍රියකට අඟුරුකබලෙන් (ගැසීය.) ඒ කර්මයාගේ විපාකයෙන් වර්ෂ බොහෝ ගණනක්, බොහෝ වර්ෂ සිය ගණනක්, බොහෝ වර්ෂ දහස් ගණනක්, බොහෝ වර්ෂ ලක්ෂ ගණනක් නිරයෙහි පැසී, ඒ කර්මයාගේම ඉතිරිවූ විපාකයෙන් (විපාකාවශෙෂයෙන්) මෙවැනි ආත්මභාවයක් ලැබීම විඳිනු ලබන්නියයි” වදාළසේක.

(පස්වෙනි ඕකිළිනි සූත්‍රය නිමි.)