සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

11. අන්ත වර්ගය

10. ඡන්ද රාග සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬුසිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.

“මහණෙනි, රූපයෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක්, යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක්, සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයයක් වේද, ඔවුන් පහකරව්. මෙසේ ඒ රූපය පහකරන ලද්දේ වන්නේය. මුල් සිඳින ලද්දේ වන්නේය. සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, විනාශ කරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.

වේදනායෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක් යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක් සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයක් වේද, ඔවුන් පහකරව්. මෙසේ ඒ වේදනාව පහකරන ලද්දේ, වන්නේය. මුල් සිඳින ලද්දේ වන්නේය. සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, විනාශ කරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.

“සංඥායෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක්, යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක්, සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයයක් වේද, ඔවුන් පහකරව් මෙසේ ඒ සංඥාව පහකරන ලද්දේ, වන්නේය. මුල් සිඳිනලද්දේ වන්නේය. සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, විනාශකරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.

“සංස්කාරයෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක්, යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක්, සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයයක් වේද, ඔවුන් පහකරව්. මෙසේ ඒ සංස්කාරය පහකරන ලද්දේ වන්නේය. මුල් සිඳින ලද්දේ වන්නේය. සිඳිනලද තල් ගසක් මෙන් කරන ලද්දේ, විනාශ කරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.

“විඤ්ඤාණයෙහි යම් ඇල්මක්, යම් රාගයක්, යම් ආශාවක් යම් තෘෂ්ණාවක්, යම් තෘෂ්ණා දෘෂ්ටි මානයන්ගේ වශයෙන් ගැනීමක්, සිත පිහිටීමක්, වැළඳගැනීමක්, අනුසයයක් වේද, ඔවුන් පහකරව්. මෙසේ ඒ විඤ්ඤාණය පහකරන ලද්දේ, වන්නේය. මුල් සිඳිනලද්දේ වන්නේය. සිඳිනලද තල්ගසක් මෙන් කරන ලද්දේ, විනාශකරන ලද්දේ, නැවත නූපදින ස්වභාවයට පමුණුවන ලද්දේ වන්නේය.”

(දසවෙනි ඡන්ද රාග සූත්‍රය නිමි.)

අන්ත වර්ගය නිමි.

අන්ත සූත්‍රය, දුක්ඛ සූත්‍රය, සක්කාය සූත්‍රය, පරිඤ්ඤෙය්‍ය සූත්‍රය, ශ්‍රමණ සූත්‍ර දෙක, සොතාපන්න සූත්‍රය, අරහා සූත්‍රය සහ ඡන්ද රාග සූත්‍ර දෙකදැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයක් වෙති.