සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
12. ධර්මකථික වර්ගය
1. භික්ෂු සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එකල්හි එක්තරා භික්ෂුවක් භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන් ඒ මහණතෙම භාග්‍යවතුන් වහන්සේට මෙය කීය.
“ස්වාමීනි, අවිද්‍යාව අවිද්‍යාවයයි කියනු ලැබේ. ස්වාමීනි, අවිද්‍යාව නම් කුමක්ද? කෙතෙක් කරුණකින් අවිද්‍යාවෙන් යුක්තවූයේයයි කියනු ලැබේද?
“මහණ, මේ ලොකයෙහි අශ්‍රැතවත් පෘථග්ජන තෙමේ රූපය නොදනියිද, රූපයට හෙතුව නොදනියිද, රූපය නැති කිරීම නොදනියිද, රූපය නැතිකිරීමේ මාර්ගය නොදනියිද, වේදනාව නොදනියිද, වේදනාවට හෙතුව නොදනියිද, වේදනාව නැතිකිරීම නොදනියිද, වේදනාව නැතිකිරීමේ මාර්ගය නොදනියිද, සංඥාව නොදනියිද, සංඥාවට හේතුව නොදනියිද, සංඥාව නැතිකිරීම නොදනියිද, සංඥාව නැතිකිරීමේ මාර්ගය නොදනියිද, සංස්කාරය නොදනියිද, සංස්කාරයට හේතුව නොදනියිද, සංස්කාරය නැතිකිරීම නොදනියිද, සංස්කාරය නැතිකිරීමේ මාර්ගය නොදනියිද, විඤ්ඤාණය නොදනියිද, විඤ්ඤාණයට හෙතුව නොදනියිද, විඤ්ඤාණය නැතිකිරීම නොදනියිද, විඤ්ඤාණය නැතිකිරීමේ මාර්ගය නොදනියිද, මහණ, මේ අවිද්‍යාවයි. මේ අවිද්‍යාවෙන් යුක්ත නම් හෙතෙම අවිද්‍යා සහිත පුද්ගලයායයි කියනු ලැබේ.”
(පළමුවෙනි භික්ෂු සූත්‍රය නිමි.)