සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
13. අවිජ්ජා වර්ගය
10. කොට්ඨිත සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයක ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝද, ආයුෂ්මත් මහා කොට්ඨිත තෙරණුවෝද බරණැස මිගදාය නම් ලත් ඉසිපතනාරාමයෙහි වාසය කෙරෙත්. එකල්හි ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි විවේක සැපයෙන් නැගී සිටියේ ආයුෂ්මත් සැරියුත් තෙරණුවෝ යම් තැනකද එතැන්හි පැමිණියහ. පැමිණ, ආයුෂ්මත් සැරියුත් තෙරණුවන් හා සමග සතුටුවිය. සතුටුවිය යුතුවූත් සිහිකටයුතුවූත් කථාවකොට නිමවා එක්පැත්තක හුන්නේය. එක්පැත්තක හුන්නාවූ ආයුෂ්මත් සාරිපුත්ත ස්ථවිරයන් වහන්සේ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, අවිද්‍යාවය, අවිද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, අවිද්‍යාව කවරේද? කොපමණකින් අවිද්‍යාවට පැමිණියේ වේද?” යනුයි.
ඇවැත්නි, මේ ශාසනයෙහි අශ්‍රැතවත් පෘථග්ජනතෙමේ රූපය නොදනියි. රූපයේ හටගැනීම නොදනියි, රූපය නැති කිරීම නොදනියි, රූපය නැති කිරීම පිණිස යායුතු මාර්ගය නොදනියි.
“වේදනාව නොදනියි. වේදනාවේ හට ගැනීම නොදනියි, වේදනාව නැති කිරීම නොදනියි, වේදනාව නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි.
“සංඥාව නොදනියි, සංඥාවේ හටගැනීම නොදනියි, සංඥාව නැති කිරීම නොදනියි, සංඥාව නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි.
“සංස්කාරයන් නොදනියි, සංස්කාරයන් හටගැනීම නොදනියි, සංස්කාරයන් නැති කිරීම නොදනියි, සංස්කාරයන් නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි.
“විඥානය නොදනියි, විඥානයාගේ හට ගැනීම නොදනියි, විඥානය නැති කිරීම නොදනියි, විඥානය නැති කිරීම පිණිස යා යුතු මාර්ගය නොදනියි.
“ඇවැත්නි, මේ අවිද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් අවිද්‍යාවට පැමිණියේද වෙයි.” යනුයි.
මෙසේ කී කල්හි ආයුෂ්මත් සාරිපුත්‍ර ස්ථවිරතෙමේ ආයුෂ්මත් මහා කොට්ඨිත ස්ථවිරයන්ට මේ කාරණය කීහ. “ඇවැත් කොට්ඨිතය, විද්‍යාවය, විද්‍යාවයයි කියනු ලැබේ. ඇවැත්නි, විද්‍යාව කවරේද? කොපමණකින් විද්‍යාවට පැමිණියේ වේද?”යනුයි.
“ඇවැත්නි, මේ ශාසනයෙහි ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවක තෙමේ රූපය දනියි. රූප සමුදය දනියි, රූපය නැතිකිරීම දනියි, රූපය නැති කිරීම පිණිස යා යුතු මාර්ගය දනියි. වේදනාව දනියි, වේදනා සමුදය දනියි. වේදනාව නැතිකිරීම දනියි, වේදනාව නැති කිරීම පිණිස යා යුතු මාර්ගය දනියි. සංඥාව දනියි, සංඥා සමුදය දනියි, සංඥාව නැති කිරීම දනියි. සංඥාව නැති කිරීම පිණිස යා යුතුමාර්ගය දනියි. සංස්කාරයන් දනියි, සංස්කාර සමුදය දනියි, සංස්කාරයන් නැතිකිරීම දනියි, සංස්කාරයන් නැති කිරීම පිණිස යා යුතු මාර්ගය දනියි. විඥානය දනියි, විඥානයාගේ හටගැනීම දනියි, විඥානය නැති කිරීම දනියි, විඥානය නැති කිරීම පිණිස යායුතු මාර්ගය දනියි.
“ඇවැත්නි, මේ විද්‍යාවයයි කියනු ලැබේ. මෙපමණකින් විද්‍යාවට පැමිණියේද වෙයි,
(දහවෙනි කොට්ඨිත සූත්‍රය නිමි.)
අවිජ්ජා වර්ගය නිමි.
සමුදය ධර්ම වශයෙන් සූත්‍ර තුනක්ද, අස්සාද සූත්‍ර වශයෙන් අනික් සූත්‍ර දෙකක්ද, සමුදය වශයෙන් සූත්‍ර දෙකක්ද, කොට්ඨිත සූත්‍ර වශයෙන් තුනක් දැයි මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.