සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
15. දිට්ඨි වර්ගය
8. විනිවේස සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.
“මහණෙනි, කුමක් ඇතිකල්හි, කුමක් නිසා, කුමකට පිවිස, සංයොජනයන්හි වෙලීම සහ බැඳීම ඇතිවෙත්ද?
“ස්වාමීනි, අපගේ ධර්මයෝ භාග්‍යවතුන් වහන්සේ මුල් කොට ඇත්තාහ. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නාකොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියාදෙතොත් ඉතා හොඳය.”
“මහණෙනි, රූපය ඇතිකල්හි, රූපය නිසා, රූපයට පිවිස, සංයොජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. වේදනාව ඇති කල්හි, වේදනාව නිසා, වේදනාවට පිවිස, සංයොජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. සංඥාව ඇති කල්හි, සංඥාව නිසා, සංඥාවට පිවිස, සංයොජනයන්හි වෙලීම සහ බැඳීම ඇතිවෙත්. සංස්කාරයන් ඇති කල්හි, සංස්කාරයන් නිසා, සංස්කාරයන්ට පිවිස, සංයොජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්. විඤ්ඤාණය ඇති කල්හි, විඤ්ඤාණය නිසා, විඤ්ඤාණයට පිවිස, සංයොජනයන්හි වෙලීම සහ බැඳීම උපදිත්.
“මහණෙනි, ඒ කුමකැයි සිතන්නාහුද? රූපය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.”
“යමක් අනිත්‍යනම් එය දුකද සැපද?” - ස්වාමීනි, දුකයි.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙලීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“වේදනාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද සැපද” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා
නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි එය නොවේමය.” “සඤ්ඤාව නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද සැපද යනුයි.”- “ස්වාමීනි, දුකයි.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“සංස්කාරය නිත්‍යද, අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි” “යමක් අනිත්‍ය නම් එය දුකද සැපද?” - “ස්වාමීනි, දුකයි.” “යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා
නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.” “විඤ්ඤාණය නිත්‍යද? අනිත්‍යද?” - “ස්වාමීනි, අනිත්‍යයි.” “යමක් අනිත්‍ය නම් එය දුකද? සැපද?” - “ස්වාමීනි, දුකය.”
“යමක් අනිත්‍යද, දුකද, පෙරළෙන ස්වභාවද, එය තදින් අල්ලා නොගැනීමෙන් සංයෝජනයන්හි වෙළීම සහ බැඳීම උපදින්නාහුද?” - “ස්වාමීනි, එය නොවේමය.”
“මෙසේ දක්නේ රූපයෙහිද කළකිරෙයි. වේදනාවෙහිද කළකිරෙයි. සඤ්ඤාවෙහිද කළකිරෙයි. සංස්කාරයෙහිද කළකිරෙයි. විඤ්ඤාණයෙහිද කළකිරෙයි. කළකිරීමෙන් නොඇලෙයි. නොඇලීමෙන් මිදෙයි. මිදුනු කල්හි මිදුනේයයි නුවණ පහළවෙයි. ජාතිය ක්ෂයවිය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරණ ලදී. මේ ආත්මභාවය පිණිස කළයුතු අනිකක් නැත්තේයයි දැනගනියි.” යනුයි.
(අටවෙනි විනිවේස සූත්‍රය නිමි.)