සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

1. නකුල පිතු වර්ගය

6. පටිසල්ලාණ සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ඒ භික්ෂූහු ‘ස්වාමීනි’යි කියා භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.

“මහණෙනි, විවේකව සිටීමට උත්සාහ කරව්. මහණෙනි, විවේකීව සිටින මහණතෙම තත්වාකාරයෙන් දනියි.

“මහණෙනි, විවේකීව සිටීමට උත්සාහ කරව්. මහණෙනි, විවේකව සිටින භික්ෂුතෙමේ තත්වූ පරිද්දෙන් දැනගනියි. තත්වූ පරිද්දෙන් කුමක් දනීද? රූපයාගේ හටගැනීමද, විනාශයද, වේදනාවගේ හටගැනීමද, විනාශයද, සංඥාවගේ හටගැනීමද, විනාශයද, සංස්කාරයන්ගේ හටගැනීමද, විනාශයද, විඥානයාගේ හටගැනීමටද, විනාශයද දනියි.

“මහණෙනි, රූපයාගේ හටගැනීම කුමක්ද? වේදනාවගේ හටගැනීම කුමක්ද? සංඥාවගේ හටගැනීම කුමක්ද? සංස්කාරයන්ගේ හටගැනීම කුමක්ද? විඥානයාගේ හටගැනීම කුමක්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ඇලෙයි ප්‍රියයයි, මනාපයයි ප්‍රකාශ කරයි, ගැලී සිටියි. කුමක ඇලෙයිද? කුමක් ප්‍රියයයි, මනාපයයි කියයිද? කුමක ගැලී සිටියිද? රූපයෙහි ඇලෙයි. රූපය ප්‍රිය මනාපයයි කියයි. රූපයෙහි ගැලී සිටියි. රූපයෙහි ඇලෙන්නාවූ, රූපය ප්‍රියයයි, මනාප යයි රූපයෙහි ගැලීසිටින්නාවූ ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය උපාදානය (තෘෂ්ණාවෙන් දැඩිකොට අල්වාගැනීම) වෙයි. ඔහුගේ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ජරාව හා මරණයද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයා ගේ හටගැනීමවේ.

“වේදනාවෙහි ඇලෙයි, වේදනාව ප්‍රියයයි, මනාපයයි කියයි. වේදනාවෙහි ගැලී සිටියි. වේදනාවෙහි ඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි. මනාපයයි කියන්නාවූ, වේදනාවෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. වේදනාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි. ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ භවය හේතුකොට ගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා, මරණ, දෙකද, ශොක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝද හටගනිත්.

“සංඥාවෙහි ඇලෙයි. සංඥාව ප්‍රියයයි, මනාපයයි කියයි. සංඥාවෙහි ගැලී සිටියි. සංඥාවෙහි ඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි, මනාපයයි කියන්නාවූ, සංඥාවෙහි ගැලී සිටින්නාවූ ඔහුට බලවත් තණ්හාව උපදියි. සංඥාවෙහි යම් බලවත් ඇලීමක් වේද, එය උපාදානයයි (තදින් අල්ලා ගැනීමයි.) ඒ උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ මේ ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්.

“සංස්කාරයන්හි ඇලෙයි. සංස්කාරයන් ප්‍රියයයි, මනාපයයි කියයි. සංස්කාරයන්හි ගැලී සිටියි. සංස්කාරයන්හි ඇලෙන, සංස්කාරයන් ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, සංස්කාරයන්හි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. සංස්කාරයන්හි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොට ගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ පහළවීම වේ.

“විඤ්ඤාණයෙහි ඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියයි. විඤ්ඤාණයෙහි ගැලීසිටියි. විඤ්ඤාණයෙහි ඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි කියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී සිටින්නාවූ, ඔහුට බලවත් තෘෂ්ණාව උපදියි. විඤ්ඤාණයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද? එය උපාදානයයි. ඔහුට උපාදානය හේතුකොටගෙන භවය ඇතිවේ. භවය හේතුකොටගෙන ජාතිය ඇතිවේ. ජාතිය හේතුකොටගෙන ජරා මරණ දෙකද, ශෝක, පරිදෙව, දුක් දොම්නස් සහ උපායාසයෝද හටගනිත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ රාශියාගේ හටගැනීම වෙයි.

“මහණෙනි, මේ වනාහි රූපයාගේ හටගැනීම වෙයි. මේ වේදනාවගේ හටගැනීම වෙයි. මේ සංඥාවගේ හටගැනීම වෙයි. මේ විඥානයාගේ හටගැනීම වෙයි.

“මහණෙනි, රූපයාගේ නැතිවීම කවරේද? වේදනාවගේ නැතිවීම කවරේද? සංඥාවගේ නැතිවීම කවරේද? සංස්කාරයන්ගේ නැතිවීම කවරේද? විඤ්ඤාණයාගේ නැතිවීම කවරේද?

“මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම නොඇලෙයි. ප්‍රියයයි මනාපයයි නොකියයි. ගැලී නොසිටියි. කුමක නොඇලෙයිද, කුමක් ප්‍රියයයි මනාපයයි නොකියයිද, කුමක ගැලී නොසිටීද? රූපයෙහි නොඇලෙයි. රූපය ප්‍රියයයි මනාපයයි නොකියයි. රූපයෙහි ගැලී නොසිටියි. රූපයෙහි නොඇලෙන්නාවූ රූපය ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, රූපයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුට රූපයෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ බලවත් තණ්හාව නැතිවීම හේතුකොටගෙන උපාදානය නැතිවෙයි. උපාදානය නැතිවීම හේතුකොටගෙන භවය නැතිවේ. භවය නැතිවීම හේතුකොටගෙන ජාතිය නැතිවේ. ජාතිය නැතිවීම හේතුකොටගෙන ජරාමරණ දෙකද, ශෝක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙති. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක්ඛ සමූහයාගේ නිරොධය වේ.

“වේදනාවෙහි නොඇලෙයි. වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියයි. වේදනාවෙහි ගැලී නොසිටියි. වේදනාවෙහි නොඇලෙන්නාවූ, වේදනාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, වේදනාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ වේදනාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.

“සංඥාවෙහි නොඇලෙයි. සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියයි. සංඥාවෙහි ගැලී නොසිටියි. සංඥාවෙහි නොඇලෙන්නාවූ, සංඥාව ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංඥාවෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංඥාව කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැතිවෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැති වෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැති වීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.

“සංස්කාරයන්හි නොඇලෙයි. සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියයි. සංස්කාරයන්හි ගැලී නොසිටියි. සංස්කාරයෙහි නොඇලෙන්නාවූ, සංස්කාර ප්‍රියයයි මනාපයයි නොකියන්නාවූ, සංස්කාරයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ සංස්කාර කෙරෙහි යම් බලවත් තණ්හාවක් වේද, එය නැති වෙයි. ඔහුගේ ඒ බලවත් තණ්හාව නැතිවීමෙන් උපාදානය (තදින් අල්ලාගැනීම) නැතිවෙයි. උපාදානය නැතිවීමෙන් භවය නැතිවේ. භවය නැතිවීමෙන් ජාතිය (ඉපදීම) නැතිවේ. ඉපදීම නැතිවීමෙන් ජරා මරණ දෙකද, සෝක, පරිදේව, දුක්, දොම්නස් සහ උපායාසයෝ නැතිවෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුක් සමූහයාගේ නැතිවීම වෙයි.

“විඤ්ඤාණයෙහි නොඇලෙයි. විඤ්ඤාණය ප්‍රියයයි මනාපයයි නොකියයි. විඤ්ඤාණයෙහි ගැලී නොසිටියි. විඤ්ඤාණයෙහි නොඇලෙන්නාවූ, විඤ්ඤාණය ප්‍රියයයි මනාප යයි නොකියන්නාවූ, විඤ්ඤාණයෙහි ගැලී නොසිටින්නාවූ, ඔහුගේ විඤ්ඤාණය කෙරෙහි යම් බලවත් තෘෂ්ණාවක් වේද, එය නිරුද්ධවෙයි. ඔහුගේ ඒ බලවත් තෘෂ්ණාව නිරුද්ධවීමෙන් උපාදානය නිරුද්ධ වේ. උපාදානය නිරුද්ධවීමෙන් භවය නිරුද්ධ වේ. භවය නිරුද්ධ වීමෙන් ජාතිය නිරුද්ධ වේ. ජාතිය නිරුද්ධ වීමෙන් ජරා මරණ දෙකද, සොක, පරිදෙව, දුක්, දොම්නස් සහ උපායාසයෝද නිරුද්ධ වෙත්. මෙසේ මේ සැපයෙන් අමිශ්‍ර දුඃඛ සමූහයාගේ නිරොධය වෙයි.

“මහණෙනි, මේ රූපයාගේ විනාශය වෙයි. මේ වේදනාවගේ විනාශය වෙයි. මේ සංඥාවගේ විනාශය වෙයි. මේ සංස්කාරයන්ගේ විනාශය වෙයි මේ විඤ්ඤාණයාගේ විනාශය වෙයි.

(හයවෙනි පටිසල්ලාණ සූත්‍රය නිමි.)