සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

1. ඛන්ධක සංයුත්තය

6. උපාය වර්ගය

10. නිරුත්තිපථ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ, අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසයකරන සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක.

“මහණෙනි, (අතීතයෙහිවූ) ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් සහ ඤාණවන්තයන් විසින් නොවළක්වනු ලැබුවාවූ, අහක නොදමනු ලැබුවාවූ, බැහැර නොකරනු ලැබුවාවූ, මේ ව්‍යවහාර, සංඥා හෙවත් නාම තුන, (දැනුත්) බැහැර නොකෙරෙත්. (මත්තෙහිත්) බැහැර නොකරන්නාහුය. ඒ නාම තුන කවරේද?

“මහණෙනි, යම් රූපයක් නොපෙනීගියේ, නැතිවූයේ, විනාශවූයේ වේද, (එවිට) ඒ රූපයාගේ ව්‍යවහාරය වූයේයයි කියාද, ඒ රූපයාගේ සංඥාව වූයේයයි කියාද, ඒ රූපයාගේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ රූපයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ රූපයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද, නොකියනු ලැබේ.

“යම් වේදනාවක් නොපෙනීගියේ, නැති වූයේ, විනාශ වූයේ වේද, (එවිට) ඒ වේදනාවේ ව්‍යවහාරය වූයේ යයි කියාද, ඒ වේදනාවේ සංඥාව වූයේයයි කියාද, ඒ වේදනාවේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ වේදනාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ වේදනාවේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද, නොකියනු ලැබේ.

“යම් සංඥාවක් නොපෙනීගියේ, නැති වූයේ, විනාශ වූයේ වේද, (එවිට) ඒ සංඥාවේ ව්‍යවහාරය වූයේයයි කියාද, ඒ සංඥාවේ සංඥාව (හැඳිනීම) වූයේයයි කියාද, ඒ සංඥාවේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ සංඥාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංඥාවේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.

“යම් සංස්කාරයක් නොපෙනීගියේ, නැති වූයේ විනාශවූයේ වේද, (එවිට) ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය වූයේයයි කියාද, ඒ සංස්කාරයාගේ සංඥාව වූයේයයි කියාද, ඒ සංස්කාරයාගේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.

“යම් විඤ්ඤාණයක් නොපෙනී ගියේ නැති වූයේ විනාශ වූයේ වේද, (එවිට) ඒ විඤ්ඤාණයාගේ ව්‍යවහාරවූයේයයි කියාද, ඒ විඤ්ඤාණයාගේ සංඥාව වූයේයයි කියාද, ඒ විඤ්ඤාණයාගේ නාමය වූයේයයි කියාද, කියනු ලැබේ. එහෙත් ඒ විඤ්ඤාණයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ විඤ්ඤාණයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.

“මහණෙනි, යම් රූපයක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ රූපයාගේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ රූපයාගේ සංඥාව වන්නේයයි කියාද, ඒ රූපයාගේ නාමය වන්නේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ රූපයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ රූපයාගේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ.

“යම් වේදනාවක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ වේදනාවේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ වේදනාවේ සංඥාව වන්නේයයි කියාද, ඒ වේදනාවේ නාමය වන්නේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ වේදනාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ වේදනාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ.

“යම් සංඥාවක් නූපන්නේ, පහළ නොවූයේවේද, (එවිට) ඒ සංඥාවේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ සංඥාවේ සංඥාව (හැඳිනීම) වන්නේයයි කියාද, ඒ සංඥාවේ නාමය වන්නේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ සංඥාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංඥාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද, නොකියනු ලැබේ.

“යම් සංස්කාරයක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ සංස්කාරයාගේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ සංස්කාරයේ සංඥාව වන්නේයයි කියාද, ඒ සංස්කාරයේ නාමය වන්නේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ සංඥාවේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ සංඥාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ.

යම් විඥානයක් නූපන්නේ, පහළ නොවූයේ වේද, (එවිට) ඒ විඥානයාගේ ව්‍යවහාරය වන්නේයයි කියාද, ඒ විඥානයාගේ සංඥාව වන්නේයයි කියාද, ඒ විඥානයාගේ නාමය වන්නේයයි කියාද, කියනු ලැබේ. (එහෙත්) ඒ විඥානයාගේ ව්‍යවහාරය (දැන්) ඇත්තේයයි කියාද, ඒ විඥානයාගේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද නොකියනු ලැබේ.

“මහණෙනි, යම් රූපයක් උපන්නේ, පහළ වූයේවේද, (එවිට) ඒ රූපයාගේ ව්‍යවහාරය ඇත්තේයයි කියාද, ඒ රූපයාගේ සංඥාව ඇත්තේයයි කියාද, ඒ රූපයාගේ නාමය ඇත්තේයයි කියාද, කියනු ලැබේ. (එවිට) ඒ රූපයාගේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද, ඒ රූපයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද, නොකියනු ලැබේ.

“යම් වේදනාවක් උපන්නේ, පහළ වූයේ වේද, (එවිට) ඒ වේදනාවේ ව්‍යවහාරය ඇත්තේයයි කියාද ඒ වේදනාවේ සංඥාව ඇත්තේයයි කියාද, ඒ වේදනාවේ නාමය ඇත්තේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ වේදනාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද, ඒ වේදනාවේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.

“යම් සංඥාවක් උපන්නේ, පහළ වූයේවේද, (එවිට) ඒ සංඥාවේ ව්‍යවහාරය ඇත්තේයයි කියාද ඒ සංඥාවේ සංඥාව (හැඳිනීම) ඇත්තේයයි කියාද, ඒ සංඥාවේ නාමය ඇත්තේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ සංඥාවේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද, ඒ සංඥාවේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.

“යම් සංස්කාරයක් උපන්නේ, පහළ වූයේ වේද, (එවිට) ඒ සංස්කාරයේ ව්‍යවහාරය ඇත්තේයයි කියාද, ඒ සංස්කාරයේ සංඥාව ඇත්තේයයි කියාද, ඒ සංස්කාරයේ නාමය ඇත්තේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ සංස්කාරයේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද, ඒ සංස්කාරයේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.

“යම් විඥානයක් උපන්නේ, පහළ වූයේ වේද, (එවිට) ඒ විඥානයාගේ ව්‍යවහාරය ඇත්තේයයි කියාද, ඒ විඥානයාගේ සංඥාව ඇත්තේයයි කියාද ඒ විඥානයාගේ නාමය ඇත්තේයයි කියාද කියනු ලැබේ. (එහෙත්) ඒ විඥානයාගේ ව්‍යවහාරය (අතීතයෙහි) වූයේයයි කියාද ඒ විඥානයාගේ ව්‍යවහාරය (මතු) වන්නේයයි කියාද නොකියනු ලැබේ.

“මහණෙනි, (අතීතයෙහිවූ) ශ්‍රමණයන්, බ්‍රාහ්මණයන් සහ ඤාණවන්තයන් විසින් නොවළක්වනු ලැබුවාවූ, අහක නොදමනු ලැබුවාවූ, බැහැර නොකරනු ලැබුවාවූ මේ ව්‍යවහාර, සංඥා හෙවත් නාම තුන (දැනුත්) බැහැර නොකෙරෙත්. (මත්තෙහිත්) බැහැර නොකරන්නාහුය.

“මහණෙනි, උක්කලා ජනපද වාසීවූ අහේතුකවාදී, අකිරියවාදී, (උච්ඡෙද) නාස්තිකවාදී වූ යම් ඒ ‘වස්සභඤ්ඤ’ දෘෂ්ටි ගතිකයෝ දෙදෙනෙක් වෙත්ද, ඔව්හුද මේ ව්‍යවහාර සංඥා සහ නාම තුන බැහැර කළ යුතුයි. ඉවත් කළ යුතුයයි නොසිතූහ. ඊට හේතුව කවරේද? නින්දා අපහාස සහ දෝෂාරෝපණය කිරීමේ භය නිසාය.”

(දසවෙනි නිරුත්තිපථ සූත්‍රය නිමි.)

හයවෙනි උපාය වර්ගය නිමි.

උපාය සූත්‍රයද, බීජ සූත්‍රයද, උදාන සූත්‍රයද, උපාදාන සූත්‍රයද, සත්තට්ඨාන සූත්‍රයද, සම්බුද්ධ සූත්‍රයද, පඤ්චවග්ග සූත්‍රයද, මහාලි සූත්‍රයද, ආදිත්ත සූත්‍රය සහ නිරුත්තිපථ සූත්‍රය දැයි, මේ වර්ගයෙහි සූත්‍ර දසයකි.