සංයුත්තනිකායො
ඛන්ධක වර්ගය
1. ඛන්ධක සංයුත්තය
10. පුප්ඵ වර්ගය
7. ගද්දුල සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරණ සේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි’යි කියා භික්ෂූන් ඇමතූසේක. ‘ස්වාමීනි’යි කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, අවිජ්ජාවෙන් වැසී ගියාවූ තණ්හාවෙන් බැඳුනාවූ නැවත නැවත ඇවිදින්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ මේ සසර නොදන්නා ලද කෙළවර ඇත්තේය, මුල් කොණ නොපෙනෙයි.
“මහණෙනි, යම්හෙයකින් මහමුහුද සිඳෙන්නේද, විශෙෂයෙන් වියලෙන්නේද, විද්‍යමාන නොවේද, එබඳු කලක් වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසී ගියාවූ තණ්හාවෙන් බැඳුනාවූ නැවත නැවත දිවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොකියමි.
“මහණෙනි, යම් කලෙක්හි මේ මහාමේරු පර්වතරාජයා දැවේද, වැනසේද, අවිද්‍යමාන වේද, ඒ කාලය වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු නැවත නැවත දිවන්නාවූ නැවත නැවත සැරිසරන්නාවූ සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොකියමි.
“මහණෙනි, යම්කලෙක මේ මහපොළොව දැවේද, වැනසේද, විද්‍යමාන නොවේද, ඒ කාලය වන්නේමය. මහණෙනි, අවිජ්ජාවෙන් වැසුණු තණ්හාවෙන් බැඳුණු ඇවිදින්නාවූ, නැවත නැවත සැරිසරන්නාවූ, සත්ත්වයන්ගේ දුක් කෙළවර කිරීම මම නොම කියමි.
“මහණෙනි, යම්සේ වනාහි බලුදමෙන් බඳනාලද සුනඛ තෙම තදවූ මහ උලෙක හෝ කණුවක හෝ බඳනාලද්දේ එම උල හෝ කණුව හෝ වටේ නැවත නැවත දිවේද, අවට කරකැවේද, මහණෙනි, එපරිද්දෙන්ම ආර්යයන් නොදක්නාවූ ආර්ය ධර්මයෙහි අදක්ෂවූ ආර්ය ධර්මයෙහි නොහික්මුණාවූ සත්පුරුෂයන් නොදක්නාවූ සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ නුවූ සත්පුරුෂ ධර්මයෙහි නොහික්මුණු ඇසූ පිරූ තැන් නැත්තාවූ පෘථග්ජනතෙම රූපය ආත්ම වශයෙන් දක්නේය, තමා රූපය ඇත්තක් කොට හෝ තමා කෙරෙහි රූපය හෝ රූපයෙහි තමා හෝ දක්නේය. වේදනාව ආත්ම වශයෙන් හෝ තමා වේදනාව ඇත්තක් කොට හෝ තමා කෙරෙහි වේදනාව හෝ වේදනාවෙහි තමා හෝ දක්නේය. සංඥාව ආත්ම වශයෙන් හෝ තමා සංඥාවක් ඇත්තක් කොට හෝ තමා කෙරෙහි සංඥාව හෝ සංඥාවෙහිලා තමා හෝ දක්නේය. සංස්කාරයන් ආත්ම වශයෙන් හෝ තමා සංස්කාරයන් ඇත්තක් කොට හෝ තමා කෙරෙහි සංස්කාරයන් හෝ සංස්කාරයන්හි තමා හෝ දක්නේය. විඥානය ආත්ම වශයෙන් හෝ තමා විඥානය ඇත්තක් කොට හෝ තමා කෙරෙහි විඥානය හෝ විඥානයෙහි තමා හෝ දක්නේය.
“හෙතෙම රූපයෙහිම බැඳී දුවයි. නැවත නැවත පෙරලෙයි, වේදනාවෙහිම බැඳී දිවෙයි. නැවත නැවත පෙරලෙමින් පවතී. සංඥාවෙහිම බැඳී දුවයි, නැවත නැවත පෙරෙලෙමින් පවතී. සංස්කාරයන්හි බැඳී දුවයි, නැවත නැවත පෙරලෙමින් පවතී. විඥානයෙහිම බැඳී දුවයි, නැවත නැවත පෙරලෙමින් පවතී.
“හෙතෙම රූපය අනුව දුවන්නේ, පෙරලෙන්නේ, වේදනාව අනුව දුවන්නේ, පෙරලෙන්නේ, සංඥාව අනුව දුවන්නේ, පෙරලෙන්නේ, සංස්කාරයන් අනුව දුවන්නේ, පෙරලෙන්නේය, විඥානය අනුව දුවන්නේ, පෙරලෙන්නේ, රූපයෙන් නොමිදේ, වේදනාවෙන් නොමිදේ, සංඥාවෙන් නොමිදේ, සංස්කාරයන්ගෙන් නොමිදේ, විඥානයෙන් නොමිදේ, ඉපදීමෙන්ද ජරාවෙන්ද මරණයෙන්ද සෝකයෙන්ද, හැඬීමෙන්ද කායික දුකින්ද දොම්නසින්ද වැලපීමෙන්ද නොමිදේ, දුකින් නොමිදේ යයි මම කියමි.
“මහණෙනි, ආර්යයන් දක්නාවූ ආර්යයන්ගේ ධර්මයෙහි දක්ෂවූ ආර්යධර්මයෙහි හික්මුණාවූ සත්පුරුෂයන් දක්නාවූ සත්පුරුෂයන්ගේ ධර්මයෙහි දක්ෂවූ සත්පුරුෂ ධර්මයෙහි හික්මුණාවූ බොහෝ ඇසූ පිරූතැන් ඇති ආර්ය ශ්‍රාවකතෙම රූපය තමා යයි හෝ නොදක්නේය. තමා රූපය ඇත්තෙකැයි හෝ නොදක්නේය. තමා කෙරෙහි රූපය හෝ නොදක්නේය. රූපයෙහි තමා හෝ නොදක්නේය.
“වේදනාව ආත්මයයි හෝ නොදක්නේය, තමා වේදනාව ඇත්තෙකැයි නොදක්නේය, තමා කෙරෙහි වේදනාව හෝ නොදක්නේය, වේදනාවෙහි තමා හෝ නොදක්නේය.
“සංඥාව තමා යයි හෝ නොදක්නේය, තමා සංඥාව ඇත්තෙකැයි හෝ නොදක්නේය, තමා කෙරෙහි සංඥාව හෝ නොදක්නේය, සංඥාවෙහි තමා හෝ නොදක්නේය.
“සංස්කාරයන් තමා යයි හෝ නොදක්නේය, තමා සංස්කාරයන් ඇත්තක් කොට හෝ නොදක්නේය, තමා කෙරෙහි සංස්කාරයන් හෝ නොදක්නේය, සංස්කාරයන්හි තමා හෝ නොදක්නේය.
විඥානය තමා යයි හෝ නොදක්නේය, තමා විඥානය ඇත්තෙක් කොට හෝ නොදක්නේය. තමා කෙරෙහි විඥානය හෝ නොදක්නේය, විඥානයෙහි තමා හෝ නොදක්නේය.
“හෙතෙම රූපයෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. වේදනාවෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. සංඥාවෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. සංස්කාරයෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි. විඥානයෙහි බැඳී නොදුවයි, නැවත නැවත නොපෙරලෙයි.
“හෙතෙම රූපයෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ. වේදනාවෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ, සංඥාවෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ, සංස්කාරයන්හි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ, විඥානයෙහි බැඳී නොදුවන්නේ, නැවත නැවත නොපෙරලෙන්නේ. රූපයෙන් මිදේ, වේදනාවෙන් මිදේ, සංඥාවෙන් මිදේ, සංස්කාරයන්ගෙන් මිදේ, විඥානයෙන් මිදේ, ඉපදීමෙන්ද ජරාවෙන් හා මරණයෙන්ද සෝකයෙන්ද හැඬීමෙන්ද දුකින්ද වැලපීමෙන්ද මිදේ, දුකින් මිදේයයි කියමි”යි වදාළසේක.
(හත්වෙනි ගද්දුලා සූත්‍රය නිමි)