සංයුත්තනිකායො

ඛන්ධක වර්ගය

2. රාධ සංයුත්තය

2. දෙවෙනි වර්ගය

4. අනිත්‍ය ධර්ම සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි ආයුෂ්මත් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙකද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එකත්පසෙක හුන්නේය. එකත්පසෙක හුන් රාධ භික්ෂුව භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.

“ස්වාමීනි, ‘අනිත්‍ය ධර්මය, අනිත්‍ය ධර්මයයි’ කියනු ලැබේ. ස්වාමීනි, අනිත්‍ය ධර්මය කවරේද?”

“රාධය, රූපය අනිත්‍ය ධර්ම නම්වේ. වේදනාව අනිත්‍ය ධර්ම නම්වේ. සංඥාව අනිත්‍යධර්ම නම්වේ. සංස්කාර අනිත්‍ය ධර්ම නම්වේ. විඤ්ඤාණය අනිත්‍ය ධර්ම නම්වේ. රාධය, මෙසේ දක්නාවූ බොහෝ ඇසූපිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකතෙමේ රූපයෙහිද කලකිරෙයි. වේදනාවෙහිද කලකිරෙයි. සංඥාවෙහිද කලකිරෙයි. සංස්කාරයෙහිද කලකිරෙයි. විඤ්ඤාණයෙහිද කලකිරෙයි. කලකිරීමෙන් (මාර්ගයට පැමිණීමෙන්) මිදෙයි. මිදුනු කල්හි මිදුණේයයි නුවණ (පහල) වෙයි. ජාතිය කෙළවර විය. බ්‍රහ්මචර්යාවෙහි හැසිර නිමවනලදී. කළයුත්ත කරනලදී. මේ භවය පිණිස මත්තෙහි කළයුත්තක් නැතැයි දනියි.

(හතරවෙනි අනිත්‍ය ධර්ම සූත්‍රය නිමි.)